ශී‍්‍ර ලංකා – බංග්ලාදේශ රාජ්‍ය අතර නව ආර්ථික, වෙළෙඳ සබඳතා රැසකට මුලපිරේ

(කොළඹ, ලංකාපුවත්) – අතීතයේ සිට අවංක මිතුරන් වූ ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් පදනමක් ඔස්සේ ඉදිරියට ගෙන යාමට දෙරටේ රාජ්‍ය නායකයින් සපථ වෙයි.

බංග්ලාදේශයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා මහත්මිය අතර නිල හමුව අද (14) පෙරවරුවේ සිදු වූ අතර එහිදී රාජ්‍ය නායකයින් මේ බව අවධාරණය කළහ.

බංග්ලාදේශ අග‍්‍රාමාත්‍ය කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා අගමැතිනි ෂීක් හසීනා මහත්මිය විසින් ඉතා සුහදශීලි ලෙස පිළිගනු ලැබුවාය.

රාජ්‍ය නායක දෙපළ අතර සුහද හමුවකින් අනතුරුව දෙරට අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.

බංග්ලාදේශය සහ ශී‍්‍ර ලංකාව අතර වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැනීම පිළිබඳව සහ විශේෂ ආර්ථික කලාපයක් ඇති කර ගැනීම පිළිබඳව මෙහිදී නායක දෙපළගේ විශේෂ අවධානය යොමු විය.

කෘෂිකර්ම සහ ධීවර ක්ෂේත‍්‍රයේ අත්දැකීම් දෙරට අතර හුවමාරු කර ගැනීමේ නව වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීම මෙන්ම තොරතුරු තාක්ෂණයේදී සහ ත‍්‍රස්තවාදය මැඩලීමේදී එක්ව කටයුතු කිරීමට ද සාකච්ඡා කළහ.

එමෙන්ම ශී‍්‍ර ලංකාවේ වී නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා බංග්ලාදේශයේ තාක්ෂණික දැනුම ලබාගැනීම පිළිබඳව ද අවධානය යොමු විය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය රටේ සංචාරයක නිරතවීම පිළිබඳව සතුට පළ කළ බංග්ලාදේශ අග‍්‍රාමාත්‍යවරිය අද ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ ශී‍්‍ර ලංකාව තුළ තහවුරු වී තිබෙන නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇගයීමට ලක්කළාය.

දෙරට අතර සබඳතා ශක්තිමත් අයුරින් ඉදිරියට ගෙන යා යුතු බව වැඩිදුරටත් අවධාරණය කළ අග‍්‍රාමාත්‍යවරිය වෙළෙඳ, ආර්ථික මෙන්ම කලාපීය වශයෙන් ද ශී‍්‍ර ලංකාව සමග නිරන්තර සහයෝගයෙන් කටයුතු කිරීමට බංග්ලාදේශය සූදානම් බව ද අවධාරණය කළාය.

ශී‍්‍ර ලංකාවත් බංග්ලාදේශයත් මුහුණ දී තිබෙන්නේ එකම ආකාරයේ ගැටලුවලට වන අතර මත්ද්‍රව්‍ය ජාවාරම, නීති විරෝධී සංක‍්‍රමණිකයින්ගේ ගැටලුව ආදී ගැටලුවලට විසඳුම් සෙවීමේදී එක්ව කටයුතු කිරිමේ හැකියාව ද අග‍්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

බංග්ලාදේශ ආයෝජකයින්ට ශී‍්‍ර ලංකාවේ ඇති ආයෝජන අවස්ථා පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිතුමා එම ආයෝජකයින් වැඩි වශයෙන් ශී‍්‍ර ලංකාවට යොමු කරන ලෙසත් ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සපයාදීමට රජය සූදානම් බවත් සඳහන් කළේය.

නුදුරු දිනකදීම ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරතවන ලෙස ජනාධිපතිතුමා බංග්ලාදේශ අග‍්‍රාමාත්‍යවරිය වෙත ඇරයුම් කළ අතර එම ඇරයුම ඉතා සුහදශීලි ලෙස පිළිගත් අග‍්‍රාමාත්‍යවරිය දෙරට අතර ඇතිකරගත් නව සබඳතා සාර්ථකව ඉදිරියට ගෙන යාම පිළිබඳ එම හමුව ඉතා වැදගත් වනු ඇති බවට ද විශ්වාසය පළ කළාය.

ඉන් අනතුරුව ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර නව ගිවිසුම් 12 කට අත්සන් තැබීම රාජ්‍ය නායක දෙපළ ඉදිරියේ සිදු විය.

එහි පළමු ගිවිසුම දෙරටේ ප‍්‍රමිති ආයතන දෙක අතර ප‍්‍රමිතිකරණය සම්බන්ධයෙන් අත්සන් තැබූ අතර විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා සහ එරට කර්මාන්ත අමාත්‍යවරයා ඊට අත්සන් තැබීය.

දෙරට අතර ආර්ථික සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබඳ ගිවිසුමට අත්සන් තබන ලද්දේ විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා සහ එරට වාණිජ අමාත්‍යවරයා විසිනි.

කෘෂිකාර්මික සහයෝගීතාවය පිළිබඳ ගිවිසුමට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අළුවිහාරේ මහතා සහ එරට කෘෂිකර්ම අමාත්‍යවරයා අත්සන් තැබීය.

තොරතුරු තාක්ෂණය පිළිබඳ ගිවිසුමකට ද අත්සන් තැබුණු අතර ඊට අත්සන් තබන ලද්දේ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ එරට තොරතුරු තාක්ෂණ අමාත්‍යවරයා විසිනි.

ගුවන්විදුලි සහ රූපවාහිනී සංවර්ධනය පිළිබඳ ගිවිසුමට ද නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ එරට තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍යවරයා අත්සන් තැබීය.

නෞකා ක්ෂේත‍්‍රයේ සහයෝගීතාවය පිළිබඳ ගිවිසුමට නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සහ එරට නාවුක කටයුතු පිළිබඳ අමාත්‍යවරයා අත්සන් තැබීය.

විදේශ සේවා නිලධාරීන් පුහුණු කිරීමේ සහ විදේශ සේවා පුහුණු ඒකකයක් පිහිටුවීම පිළිබඳ ගිවිසුම් දෙකකට ද අත්සන් තැබුණු අතර දෙරටේ විදේශ අමාත්‍යවරු ඊට අත්සන් තැබූහ.

දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සහ රාජකාරී ගමන් බලපත‍්‍ර වීසාවලින් නිදහස් කිරීම පිළිබඳ ගිවිසුමට විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සහ එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් අත්සන් තැබූහ.

දෙරට අතර ඇඟලුම් ක්ෂේත‍්‍රයේ ගිවිසුමකට ද අත්සන් තැබුණු අතර තොරතුරු තාක්ෂණය හා සන්නිවේදනය පිළිබඳ ගිවිසුමකට ද අත්සන් තැබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *