ජාතික සංවර්ධන වැඩපිළිවෙළේදී සියලු රේඛීය අමාත්‍යාංශ එක්ව කටයුතු කළ යුතුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – රටේ සහ පොදු ජනතාවගේ සංවර්ධන අපේක්ෂාවන් ඉටුකරන ජාතික සංවර්ධන වැඩපිළිවෙළේදී සියලු රේඛීය අමාත්‍යාංශ එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

ඒ පිළිබඳ වගකීම ඇති අමාත්‍යාංශයට පමණක් සියලු කටයුතු පවරා නොසිට, අදාළ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා තම උපරිම දායකත්වය ලබාදීම සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ වගකීම බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේ අමාත්‍යාංශ ලේකම්වරු සමග ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුව අමතමිනි.

අමාත්‍යවරුන්ගේ සහ අමාත්‍යාංශ නිලධාරින්ගේ විදේශ සංචාරවලදී ඉහළ සිට පහළට යම් පාලනයක් ඇති කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා ඇතැම් අමාත්‍යවරු සහ නිලධාරින් රාජ්‍ය සමුළු සඳහා විදේශගතවී එම සමුළු අවසන් වුව ද තවත් දින ගණනක් එම රටවල රැදී සිටින බවත්, මෙම තත්ත්වය පාලනය කිරීමට මෙන්ම එකම නිලධාරියා සෑම වසරකම විදේශගතවීම වෙනුවට නිලධාරින් පුහුණු කිරීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කිරීම පිළිබඳව ද අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ අවධානය යොමු කළේය.

එමෙන්ම ප‍්‍රාදේශීය ලේකම්වරුන්ගේ ස්ථාන මාරුවීම් පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ කිසිවෙකුගේ වුවමනාවට එකම ප‍්‍රාදේශීය ලේකම්වරයෙකු දීර්ඝකාලයක් එකම ස්ථානයක රඳවා සිටිය නොහැකි බවත්, එම ස්ථාන මාරුවීම් පිළිබඳ ප‍්‍රතිපත්තිමය තීන්දුවකට එළැඹිය යුතු බවත්ය.

තමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු කරන ලද විදේශ සංචාරවලදී මේ වන විට අවබෝධතා ගිවිසුම් විශාල ප‍්‍රමාණයකට අත්සන් තබා ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා එම ගිවිසුම්වලින් බලාපොරොත්තුවන ඉලක්ක කරා ගමන් කරමින් ඒවා කි‍්‍රයාවට නැංවීම සහ පසුවිපරම් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් වගකියන එක් අතිරේක ලේකම්වරයෙකු පත්කර, ඒ සඳහා වෙනම අංශයක් පවත්වාගෙන යාමට ද මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

තමා පසුගියදා සිදුකළ බංග්ලාදේශ සංචාරයේදී පමණක් අවබෝධතා ගිවිසුම් 12 කට අත්සන් තැබූ අතර, බංග්ලාදේශය එක් දිනකදී එක් රටක් සමග අත්සන් තැබූ වැඩිම ගිවිසුම් ප‍්‍රමාණය එය බව බංග්ලාදේශ අග‍්‍රාමාත්‍යවරිය ප‍්‍රකාශ කළ බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ඉදිරි සති දෙකෙන් පසු සියලු අමාත්‍යාංශවල ප‍්‍රගති සමාලෝචන රැස්වීම් පැවැත්වීමට කටයුතු කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා පසුගිය වසර දෙකහමාරේ අමාත්‍යාංශවල කි‍්‍රයාකාරිත්වය මෙන්ම 2020 සඳහා ඉලක්ක සහගත වැඩපිළිවෙළ පිළිබඳ එහිදී සොයා බලන බව පැවසීය.

පසුගියදා ඇතිවූ ගංවතුරෙන් සහ නාය යාමෙන් නිවාස අහිමිවූ ජනතාවට නිවාස ඉදිකරදීම සඳහා ඉඩම් පවරා ගැනීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ද ජනාධිපතිතුමා අමාත්‍යාංශ ලේකම්වරුන්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම නියඟය පවතින ප‍්‍රදේශවල ජනතාවගේ පානීය ජල අවශ්‍යතා ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීමේ කටයුතු ද විමසා බැලීය.

උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පවරා ඇති වගකීම් නියමිත කාල සටහනට අනුව ඉටු කිරීම පිළිබඳව ද ජනාධිපතිතුමා අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ අවධානය යොමු කළේය.

අමාත්‍යාංශවල පුරප්පාඩු පිරවීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

එමෙන්ම අමාත්‍යාංශ මට්ටමින් කි‍්‍රයාත්මක කරන සංවර්ධන කටයුතු පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ප‍්‍රචාරාත්මක වැඩපිළිවෙළක අවශ්‍යතාවය පෙන්වා දුන් ජනාධිපතිතුමා ඒ සඳහා සෑම අමාත්‍යාංශයකම ප‍්‍රවෘත්ති නිලධාරියෙකු පත්කර රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා සම්බන්ධවෙමින් එම ප‍්‍රචාරක වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කිරීමට ද උපදෙස් දුන්නේය.

රටත්, ජනතාවත් වෙනුවෙන් හෙට දවසේ ඉටුකළ යුතු වැඩපිළිවෙළ පිළිබඳ මීට වඩා සංවාදශීලී වෙමින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි කළ ජනාධිපතිතුමා සෑම තෙමසකට වරක්ම අමාත්‍යාංශ ලේකම්වරුන් හමුවී එම කටයුතු පිළිබඳ සොයා බැලීමට තමා අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු මෙම හමුවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *