පරිසරය ආරක්‍ෂා කර ගනිමින් සංවර්ධන කටයුතු සිදු කළයුතුයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – පරිසරය ආරක්‍ෂා කර ගනිමින් සංවර්ධන කටයුතු සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

දේශගුණ විපර්යාසයක් සිදු වන විට අපගේ ආර්ථිකය ඊට ගැලපෙන අයුරින් සකස් කර ගන්නේ කෙසේදැයි සැලසුම් කළ යුතුව තිබෙන බවත් එම ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කොට ඊට මුහුණදීම සඳහා මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවත් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කරන ලද්දේ නියඟයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට පානීය ජලය සැපයීම සඳහා ට්‍රැක්ටර් ජල බවුසර් ලබාදීමේ වැඩසටහනේ දෙවන අදියරට අද(18) සහභාගී වෙමිනි.

 

අප රජයක් ලෙස අලූත් පරපුරේ අනාගතය ගැන සිතා තීන්දු තීරණ ගත යුතු බවත් ඒ වෙනුවෙන් පරිසරය ආරක්‍ෂා කර ගත යුතුව තිබෙන බවත් හෙතෙම කියා සිටියේය.

අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙලෙසද පැවසීය..

” නියඟයෙන් පීඩා විදින දිස්ත්‍රික්ක 5 ක් සඳහා බවුසර් සහ ට්‍රැක්ටර් ලබා දීමේ වැඩසටහනේ දෙවන අදියර මෙලෙස ක්‍රියාත්මක වෙනවා. පළමු වැනි අදියර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. නියඟයට ලක් වූ පොළොන්නරුව, අනුරාධපුරය, පුත්තලම, කුරුණෑගල සහ ගම්පහ යන දිස්ත්‍රික්ක වෙනුවෙන් මෙම ජල බවුසර් ලබාදෙනවා. මෙම වැඩසටහන සංවිධානය කළේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගිනුයි. එම නිසා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට මගේ විශේෂ ස්තූතිය පළ කරනවා. මෙම වැඩ කටයුතු සාර්ථකව කිරීම සඳහා එතුමා විශේෂ උනන්දුවක් ගෙන තිබෙනවා.

වර්තමානයේ රට මුහුණ දී ඇති තත්ත්වය අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලටත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලටත් මෙම වතුර බවුසර් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. එම ආයතන විසින් කුලියට ගන්නා බවුසර්වලට අමතරව ඔවුන්ටම බවුසර් ලබාදීමෙන් තවත් කාර්යක්‍ෂම සේවයක් ලබා ගැනීමට හැකි වේ යැයි විශ්වාස කරනවා.

වර්තමානය වන විට ශ්‍රී ලංකාව නියං තත්ත්වයකට මුහුණ දී සිටිනවා. එය දිගු කාලීන නියඟයක් බව කිව යුතුයි. මීට පෙර වකවානුවලත් අප නියඟවලට මුහුණ දී තිබෙනවා. නමුත් මෙම තත්ත්වය එවැනි ස්වභාවික නියඟයක් දැයි අපට විමර්ශනය කළ යුතුව තිබෙනවා. ඇතැම් විට ස්වභාවයෙන්ම නියං තත්ත්වයන් උදා වෙනවා. නැතිනම් වැසි සහිත කාලගුණයන් පවතිනවා. මෙම නියඟය ශ්‍රී ලංකාවට පමණක් සීමා වී නැහැ. ඉන්දියාව, බංග්ලාදේශය ආදී රටවල් ගණනාවක් මේ තත්ත්වයට මුහුණ දී සිටිනවා. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

16 − 4 =