නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා නිලධාරින් දිරිමත් කිරීමට විශේෂ වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) – නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා නිලධාරින් ඇගයීම සහ දිරිමත් කිරීම වෙනුවෙන් ඔවුන් සදහා වැටුප් වර්ධක ඇතුළු වරප‍්‍රසාද ලබාදීම මෙන්ම උසස්වීම් පිළිබද නිර්දේශ ලබාදීමේ වැඩපිළිවෙළක් ඉදිරියේදී කි‍්‍රයාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (19) පෙරවරුවේ පානදුර නගර සභා කී‍්‍රඩාංගණයේ පැවති ,මතින් නිදහස් රටක්, ජාතික වැඩසටහනේ කලූතර දිස්ත්‍රික් වැඩසටහන අමතමිනි.

මතින් නිදහස් රටක් ගොඩනැගීම සදහා රජය ගෙන යන ජාතික වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කරමින් කි‍්‍රයාශීලි වැඩසටහන් රැසක් ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය. මත්ද්‍රව්‍ය සමග සමාජය වෙලාගෙන තිබෙන බිහිසුණු අත්දැකීම් මතු පරපුරට උරුම නොකළ යුතු අතර රටත්, සමාජයත් මත්ද්‍රව්‍ය උවදුරෙන් නිදහස් කර ගැනීම සදහා වගකිව යුතු රජයක් ලෙස සෑම පියවරක්ම ගන්නා බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

විද්‍යා දැරියගේ ඝාතනය වැනි සිදුවීම් මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය ජාවාරම සමග බැදුණු හදවත කම්පා කරන සිදුවීම් බව ද පැවසූ ජනාධිපතිතුමා තවත් එවන් බිහිසුණු අපරාධ රැසක් පසුගිය සමයේ මත්ද්‍රව්‍ය හේතුවෙන් රට තුළ සිදු වූ බව ද කියා සිටියේය. මෙවන් අමානුෂික සිදුවීම් සදහා තවදුරටත් ඉඩ තැබිය නොහැකි බව අවධාරණය කළ ජනාධිපතිතුමා මතින් නිදහස් රටක් සංකල්පය සාර්ථක කර ගනිමින්, මතින් නිදහස් රටක් ගොඩනැගීම සදහා සියලූදෙනා කැපවිය යුතු බව ද පැවසීය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් යටතේ කි‍්‍රයාත්මක වන ,මතින් නිදහස් රටක්, වැඩසටහනට සමගාමීව දිස්ති‍්‍රක් සමාලෝචන වැඩසටහන් මාලාවේ නව වැනි වැඩසටහන අද මෙලෙස පානදුර නගර සභා කි‍්‍රඩාංගණයේ දී පැවැත්විණි.

ගම්පහ, ගාල්ල, කෑගල්ල, කොළඹ, කුරුණෑගල, නුවරඑළිය, පුත්තලම හා යාපනය දිස්ත්‍රික්ක අට මේ වන විට ආවරණය කර අවසන්ව ඇති අතර මත්ද්‍රව්‍ය නිවාරණ කළුතර දිස්ත්‍රික් වැඩසටහනේ ප‍්‍රගති සමාලෝචනය මෙහිදී සිදු කෙරිණි.

මත්ද්‍රව්‍ය නිවාරණයට කැපවූ රාජ්‍ය සේවකයන් සදහා සම්මාන ප‍්‍රදානය කිරීම සහ පාසල් මත්ද්‍රව්‍ය නිවාරණ නියමුවන් හට නිල ලාංඡන පැළදවීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුනි.

දුම්කොළ සමාගමේ කි‍්‍රයාකාරකම් නිරීක්ෂණයට හා අධ්‍යයනය සදහා කොළඹ විශ්වවිද්‍යාලයේ පිහිටවූ දුම්කොළ අධ්‍යයන කේන්ද්‍රයේ වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම ද මේ හා සමගාමීව ජනාධිපතිතුමා අතින් සිදු විය.

අමාත්‍ය මහින්ද සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි මලිත් ජයතිලක, බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි යන මහත්වරුන් ඇතළු පළාතේ මැති ඇමතිවරු ද, කලූතර දිස්ත්‍රික් ලේකම් ඇතළු රාජ්‍ය නිලධාරින් සහ පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *