උතුරු හා නැඟෙනහිර තවත් බිම් බෝම්බ ඉවත් කරන්න ඩොලර් 611,710 ක්

(කොළඹ, ලංකාපුවත්) – බිම් බෝම්බවලින් තොර දේශයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා උතුරු හා නැඟෙනහිර ප්‍රදේශයන්හි වළදමා තිබෙන බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 611,710 ක (රුපියල් ලක්ෂ 910 ක) ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජපාන රජය තීරණය කරයි.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර තිබෙන ශක්තිමත් ද්වීපාර්ශවික සහයෝඟීතාවය හේතුවෙන් මේ ආධාරය ලබාදෙන අතර ඊට අදාළ ගිවිසුමට අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ දී සිදු කෙරිණි. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා, බිම්බෝම්බ උපදේශන කණ්ඩායමේ (Mines Advisory Group) තාක්ෂණික මෙහෙයුම් කළමනාකාර රොව්නන් ෆර්නෑන්ඩස් මහත්වරු ඒ සඳහා අත්සන් කළහ.

ඒ අනුව බිම්බෝම්බ උපදේශන කණ්ඩායම ක්‍රියාත්මක කරනු ලබන ”උතුරු පළාතේ ජීවන මට්ටම යළි නඟාසිටුවීම උදෙසා වන මානුෂීවාදී බිම්බෝම්බ ඉවත් කිරීම”ව්‍යාපෘතිය සඳහා මේ ආධාර මුදල ලබාදෙන අතර බිම් බෝම්බ ඉවත්කිරීම තුළින් අභ්‍යන්තර වශයෙන් අවතැන්වූ ජනතාවට නැවත පදිංචි වී තම ජීවිකාව යළි ආරම්භ කිරීමට සහ ශ්‍රී ලංකා රජය මඟින් ක්‍රියාත්මක කර තිබෙන බිම් බෝම්බවලින් තොර ආරක්ෂිත ප්‍රදේශ ඇතිකිරීමේ වැඩපිළිවෙල තවදුරටත් වේගවත් කිරීම වෙනුවෙන් මේ ව්‍යාපෘතිය වැදගත් වනු ඇත.

උතුරු පළාත බිම් බෝම්බවලින් තොර ආරක්ෂාකාරී ප්‍රදේශයක් බවට පත්කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රජය ගෙනයන වැඩපිළිවෙළට ශක්තියක් වීම සඳහා මේ ආධාරය ශ්‍රී ලංකාවට ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා මහතා මෙහිදී සඳහන් කළේය.

බිම්බෝම්බ ඉවත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව දරන උත්සාහය අගය කරන බව සඳහන් කළ තානාපතිවරයා ශ්‍රී ලංකාවේ අවතැන්වූවන් යළි පදිංචි කිරීම, ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු යළි ආරම්භ කිරීම, අනෙකුත් ජීවනෝපාය කටයුතු ආරම්භ කිරීම සඳහා බිම් බෝම්බ ඉවත් කිරීම අවශ්‍ය වන අතර ඒ කාර්යය වෙනුවෙන් පසුගිය 2003 වසරේ සිට මේ දක්වා කාළය තුළ ජපානය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 30.1ක ආධාරයක් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන බවද සිහිපත් කළේය.

බිම්බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමත් සමඟ ඒ ඒ ප්‍රදේශයන්හි ජනතාවට නිදහසේ ජීවත් වීමට මෙන්ම ජීවනෝපාය ශක්තිමත් කර ගැනීමට ද අවස්ථාව සැලසෙන බව පෙන්වාදුන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයන්හි වළ දමා තිබෙන බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු ක්‍රමයෙන් අවසන් වෙමින් තිබෙන බවද පෙන්වා දුන්නේය.

මේ අතර බිම්බෝම්බ උපදේශන කණ්ඩායමේ තාක්ෂණික මෙහෙයුම් කළමනාකාර රොව්නන් ෆර්නෑන්ඩස් මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා රටවල බිම් බෝම්බ ඉවත් කිරීම වෙනුවෙන් සහාය ලබාදෙන ජපානය මෙරටට ලබාදුන් ආධාරය සම්බන්ධයෙන් ප්‍රණාමය පිරිනමන බවත් පසුගිය වසර තුනක කාලයේ දී පමණක් තම ආයතනය සහ ජපාන හවුල්කාරිත්වය හරහා බිම්බෝම්බ 10,000 ට අධික ප්‍රමාණයක් බවත් කිරීමට හැකියාව ලැබී තිබෙන බවත්ය.

මෙලෙස බිම් බෝම්බ ඉවත් කිරීමත් සමඟ නැවත පදිංචි වීම සඳහා මන්නාරම දිස්ත්‍රික්කයට පැමිණෙන පුද්ගලයින්ගේ ජීවිත හා ජීවිකාවන් ගොඩනැඟීමට අවශ්‍ය වන කෘෂිකාර්මික ඉඩම් හා නිවාස, පාසැල් හා වෙනත් යටිතල පහසුකම් ගොඩනැඟීම සඳහා අවශ්‍ය වන ආරක්ෂිත භූමි හා ඉඩකඩම් සපයා ගැනීමට හැකියාව ලැබෙන බවද උතුරු හා නැගෙනහිර පළාත් වල පිහිටි දිස්ත්‍රික්හයක සමීක්ෂණ කටයුතු 2015 වසර වනවිට ක්‍රමානුකූලව අවසන්කර තිබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය. මේ වනවිට මන්නාරම දිස්ත්‍රික්කයේ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදුවන අතර නව ව්‍යාපෘතිය මඟින් මුලතිවු දිස්ත්‍රික්කයේ ද බිම් බෝම්බ ඉවත් කිරීමට අපේක්ෂා කරන බවද රොව්නන් ෆර්නෑන්ඩස් මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් කායෝ ඉමමුරා, බිම් මට්ටමේ මානව ආරක්ෂණ ව්‍යාපෘතියේ උපදේශිකා නිරෝෂා වෙල්ගම, බිම්බෝම්බ උපදේශන කණ්ඩායමේ මූල්‍ය කළමනාකාරිණී කැරොලින් ලුතනායහම්, වැඩසටහන් නිලධාරිණී ජනනි තම්බයියා මහත්මීන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *