අතුරුදන් වූවන්ගේ කාර්යාලය ගැන එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ ප්‍රසාදය

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා ප්‍රසාදය පළකර ඇත.

ඔහු පෙන්වා දෙන්නේ අතුරුදන් වූවන් පිළිබඳ සත්‍යය දැනගැනීම සමස්ත ශ්‍රී ලාංකිකයන් ලැබූ දැවැන්ත ජයග්‍රහණයක් බවය. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතාගේ නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශක පරා හක් නිවේදනයක් මගින් මේ බව සදහන් කර තිබේ.

ශ්‍රී ලංකාවේ අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලීම පිළිබඳ කාර්යාලයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මහ ලේකම්වරයා ශ්‍රී ලංකා රජයට ප්‍රසාදය පළකරන බවට ඔහු එමගින් සඳහන් කර ඇත. ඊට අවශ්‍ය සහයෝගය දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සූදානමින් සිටින බව එහි සඳහන්වේ.

ජගත් මහ ලේකම්වරයාගේ නියෝජ්‍ය මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය කඩිනමින් ක්‍රියාත්මක වනු ඇති බවට මහ ලේකම්වරයා විශ්වාසය පළකරන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *