කොළඹ ඇළ මාර්ග පිරිසිදු කිරීම ඇමති චම්පිකට බාරදෙයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය බදාදා මුණගැසුණු කැබිනට් අනුකාරක කමිටුව විසින් කොළඹ නගරයේ කැළි කසළ විධිමත්ව හා කාර්යක්‍ෂමව ඉවත් කිරීම හේතුවෙන් කොළඹ නගර ආශ‍්‍රිතව පවතින අපවිත‍්‍ර ඇළමාර්ග පවිත‍්‍ර කිරීමේ බලයද අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙත පවරා ඇත.

ඒ අනුව එම පවිත‍්‍රකිරීමේ කටයුතු අදාළ සියලූ ආයතන සමඟ සම්බන්ධ වී හෙට (22) සිට ආරම්භ කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

එසේම, පසුගිය ජූලි 05 වැනිදා සිට කොළඹ නගරයේ කැළි කසළ කළමනාකරණය පිළිබඳ වගකීම ඇමති පාඨලී චම්පික රණවක මහතාට බාර කිරීමෙන් පසු අඛණ්ඩ මෙහෙයුමක්, අධීක්‍ෂණයක් සහ ප‍්‍රගති සමාලෝචනයක් සිදු කෙරිණි.

2017 ජූලි 20 වන විට මහමඟට නීති විරෝධී අන්දමින් කැළි කසළ බැහැර කරන්නන් 754 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සතියේ සෑම දිනකම රාත‍්‍රී 7.00 ට කොළම මහා නගර සභා ශාලාවේදී දෛනික සමාලෝචනය සිදුකරන අතර ඒ සඳහා කොළඹ, මොරටුව, කෝට්ටේ, දෙහිවල-ගල්කිස්ස, කැළණිය හා කඩුවෙල නාගරික කොමසාරිස්වරු ඇතුළු අදාළ නගර සභා බල ප‍්‍රදේශයන්හි පොලිස් ස්ථානාධිපතිවරු, ඉංජිනේරුවන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු සහ කැළි කසළ එක්රැස් කරන ආයතනවල අබාන්ස් හා කෙයා ක්ලීනින් යන ආයතනවල නිලධාරීන් ද මෙම සාකච්ඡාවට එක්වේ.

උදෑසන 4.00-6.00 අතර කාලයේ කොළඹ නගරයේ අලංකරණය කිරීමේ හමුදා ඒකකය විසින් ඒ ඒ අදාළ ප‍්‍රදේශවල කැළි කසළ එක්රැස්වන ප‍්‍රදේශ හා කැළි කසළ ගොඩ වේ යැයි අවධානමක් සහිත ප‍්‍රදේශ ඡායාරූප ගත කෙරේ. ඉන් අනතුරුව නැවත සවස 3.00ත් 5.00 ත් අතර කාලයේදී එම නිලධාරීන්ම ඡායාරූප ගත කරයි. එම කාලය තුළ පරිසර පොලිස් කණ්ඩායම් සහ නගර සභා හා පෞද්ගලික කැළි කසළ එකතු කරන කණ්ඩායම් තමන්ට පැවරී ඇති රාජකාරී ඉටුකර ඇත්ද නැද්ද යන්න එදිනම රාත‍්‍රීයේ පැවැත්වෙන විමර්ශනය කිරීම අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් සිදු කෙරේ.

ලබාගෙන ඇති සියලූම ඡායාරූප සංසන්දනාත්මක වශයෙන් එම්.එම්.එස්. ආශ‍්‍රයෙන් අදාළ නිලධාරීන්ට යොමු කරන අතර, ඒ අනුව කැළි කසළ එකතු කිරීම හා අදාළ රාජකාරී මෙහෙයුම් සිදු කෙරේ. දිනපතා පැවැත්වෙන රාත‍්‍රී 7.00 ප‍්‍රගති විශ්ලේෂණයේදී ඒ ඒ කාරණා සම්බන්ධයෙන් අධීක්‍ෂණය කෙරෙන අතර කැළි කසළ එකතු කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආයතන නිසි වගකීම ඉටුකර නොමැති නම් ඊට දඩ මුදලක්ද නියම කෙරේ. කොළඹ නගරය ආශ‍්‍රිතව පමණක් ආරම්භ කළ කැළි කසළ විසඳීමේ මෙහෙයුම අද වන විට කෝට්ටේ, කඩුවෙල, කැළණිය, දෙහිවල-ගල්කිස්ස, මොරටුව යන නාගරික බල ප‍්‍රදේශයන්හි ක‍්‍රියාත්මක කිරීමට ද කටයුතු කර ඇත. දෛනික විමර්ශණයක් සහිතව අඛණ්ඩව කරගෙන යෑමට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පියවර ගෙන ඇත. මේ වන විට කොළඹ නගරයේ දෛනිකව ගොඩගැසෙන කසළ පමණක් ඇති අතර අඛණ්ඩව ගොඩගැසී තිබූ කසළ මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට ද පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 + nineteen =