එදා මේදා තුර ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කල ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට සම්මාන

(කොළඹ, ලංකාපුවත්) – 2017 වසරේ පැවැත්වෙන ක්‍රීඩා අමාත්‍යාංශයේ ස්වර්ණ ජයන්තියට සමගාමීව ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කල ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

ඔලිම්පික් තරඟාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ කීඩක ක්‍රීඩිකාවන් අතර 67 දෙනෙකු දැනට ජීවතුන් අතර සිටී. ඔවුන්ගෙන් දැනට 23 දෙනෙකු විදේශගතව ජීවත්වන අතර ශ්‍රී ලංකාවේ ජීවත්වන ඔලිම්පික් තරගාවලිය නියෝජනය කල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 44 දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා‍‍ගේ අතින් ලබන සදුදා (24)දින ප.ව.6.30 ට ජනාධිපති මන්දිරයේදී සම්මානයෙන් පිදුම් ලබයි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ස්වර්ණ ජයන්තියට සමගාමීව මාතර පැවැත්වෙන 43 වන ජාතික මහා ක්‍රීඩා උළෙල ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා උළෙලක් හා විවිධ නවාංග රාශියක් එක්කල ක්‍රීඩා සංදර්ශණයක් ලෙස පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

එමෙන්ම ජාතික ක්‍රීඩා කෞතුකාගාරය විවෘත කිරීම, ක්‍රීඩා අමාත්‍යාංශයේ වසර 50 ක ඉතිහාසය දැක්වෙන ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කිරීම, හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ට, අමාත්‍යාංශ ලේකම්වරුන්ට, අධ්‍යක්ෂ ජනරාල්වරුන්ට හා නිළධාරීන්ට උපහාර පිදීමද සිදු කෙරෙන බව එම අමාත්‍යාංශය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *