කාන්තා ක්‍රිකට් ලෝක ශූරතාව එංගලන්තයට

(කොළඹ, ලංකාපුවත්) – 2017 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට එංගලන්තය ඊයේ (23) රාත්‍රියේ සමත් විය.

ඒ, ඉතිහාසයේ පළමු වරට කාන්තා ලෝක කුසලානයක් දිනා ගැනීමේ අවස්ථාව දෙවන වරටත් ඉන්දියාවට අහිමි කරමිනි.

එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩා පිටියේ පැවති අවසන් මහා තරගයෙන් එංගලන්තය ජය ගත්තේ ලකුණු 09කිනි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50දී කඩුලු 07කට ලකුණු 228ක් රැස් කිරීමට සමත් විය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ඉන්දියාවට සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 219ක් පමණි.

43 වන පන්දුවාරය වනවිට ඉන්දියාව කඩුලු 03කට ලකුණු 191ක් රැස් කර ගිනිමින් ජයග්‍රහණය පෙනෙන මානයට පැමිණ සිටියේය.

නමුත් ඉන්දීය කණ්ඩායමේ අවසන් කඩුලු 07, පන්දුවාර 06ක් තුළ ලකුණු 28කට බිඳ වැටීමත් සමග නොසිතූ ජයග්‍රහණයක් වාර්තා කිරීමට එංගලන්ත කාන්තා කණ්ඩායමට හැකි විය.

එංගලන්තය කාන්තා ලෝක කුසලානයක් දිනාගත් සිව්වන අවස්ථාව ද මෙය වේ. ඒ, 1973, 1993 සහ 2009 වන වසරවලදීය.

මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 06කට මුහුණ දුන්නද ජයගත්තේ පකිස්තානයට එරෙහි තරගය පමණි.

එහෙත් ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේ දී නොදැවී ලකුණු 178ක් රැස් කළ චමරි අතපත්තු මෙවර තරගාවලියේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩිකාව බවට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 − 7 =