නල්ලූර් සිද්ධියේ ප්‍රධාන සැකකරු සොයා මෙහෙයුම්

(කොළඹ, ලංකාපුවත්) – යාපනය, නල්ලූර් ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

එසේම මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

නල්ලූර් ප්‍රදේශයේදී වෙඩි තැබීම සිදුවුණේ පසුගිය 22වනදා පස්වරුවේ දී ය. එහිදී පොලිස් නිලධාරියෙකු ජීවිතක්‍ෂයට පත්විය.

විද්‍යා ඝාතන නඩුවේ විනිසුරුවරයෙකු වූ මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලංගචේලියන් මහතාගේ රථයට ආරක්‍ෂාව සැපයූ යතුරුපැදියක ගමන් ගත් පොලිස් නිලධාරියෙකු මෙසේ ජීවිතක්‍ෂයට පත්ව තිබුණි. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යාපනය රෝහලට ඇතුළත් කෙරුණි. එහි ප්‍රතිකාර ලබමින් සිටියදීයි සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර මහතා ජීවිතක්‍ෂයට පත්විය.

හලාවත කුමාරකට්ටුව ප්‍රදේශයේ පදිංචිව සිටි සැරයන්වරයා පොලිස් සේවයට එක්ව ඇත්තේ 1986 වසරේ දී ය. ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

සිද්ධියෙන් මිය ගිය සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පශ්චාත් මරණ පරික්‍ෂණය ඊයේ(23) සිදුකෙරුණි. වෙඩි වැදීමෙන් සිදු වූ අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් මරණය සිදුව ඇති බවට එහිදී හෙළිවී තිබේ. මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලංගචේලියන් මහතා ඊයේ උදෑසන යාපනය රෝහල වෙත පැමිණි අතර එම ස්ථානයට පැමිණ සිටි මිය ගිය සැරයන්වරයාගේ බිරිඳට මහාධිකරණ විනිසුරුවරයා සිය කණගාටුව පළ කළ අතර එය සංවේදී අවස්ථාවක් විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + 20 =