දළදා මාලිගයේ අභ්‍යන්තර පෙරහැර මංගල්‍යය අද සිට ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ ඇසළ මහ පෙරහැර මංගල්‍යයයේ සිව් මහා දේවාලවල අභ්‍යන්තර පෙරහැර මංගල්‍යය අද (24) සිට ආරම්භ වේ.

සිව් මහ දේවාලයන්හි කප් සිටුවීමේ මංගල්‍යය උදෑසන පැවැත්වුණි.

ඒ අනුව ශ්‍රී දළදා මාලිගයේ ඇසළ පෙරහැර මංගල්‍යය අද සිට ආරම්භ වන අතර අද සිට දින පහක් සිව් මහ දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර පවත්වන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කියා සිටියේය.

ලබන 29 වනදා කුඹල් පෙරහැර මංගල්‍යය ආරම්භ වන අතර අගෝස්තු මස 02 වනදා කුඹල් පෙරහැර අවසන් වේ.

පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු මස 03 වනදා ආරම්භ වී අගෝස්තු මස 07 වන දිනට යෙදී ඇති පොහොය දිනයේදී අවසන් රන්දෝලි පෙරහැර විථි සංචාරය කිරීමට නියමිතය.

අගෝස්තු මස 08 වනදා දිය කැපීමේ මංගල්‍යය සිදු කෙරෙන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *