පොදුරද මඩුළු යොවුන් තරග බිමේදී ශ්‍රී ලංකාවට 23වැනි තැන

(කොළඹ, ලංකාපුවත්) – බහමාස් හි පැවති 06 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේදී රටවල් 64ක් අතරින් 23 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ක්‍රීඩා උළෙල බහමාස් නිව් ප්‍රොවිඩන්ස්හී තෝමස් ඒ රොබින්සන් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඊයේ (24) නිමාවට පත් වූ අතර සමස්ත ශූරතාව දිනා ගත්තේ රන් පදක්කම් 23ක්, රිදී පදක්කම් 16ක් සහ ලෝකඩ පදක්කම් 12ක් දිනා ගත් එංගලන්තයයි.

ශ්‍රී ලංකාව මෙවර තරග ඉසව් 6ක් සඳහා එක් වූ අතර ඊට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 27 දෙනෙකු සහභාගි විය

ශ්‍රී ලංකාව මෙහිදී රිදී පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වූ අතර ඊට හිමිකම් කීවේ පිහිණුම් ක්‍රීඩක කයිල් අබේසිංහ ය.

මීටර් 50 නිදහස් ආර සහ මීටර් 100 නිදහස් ආර පිහිණුම් ඉසව්වලින් ඔහු ශ්‍රී ලංකාවට රිදී පදක්කම් දිනා දුන්නේය.

ශ්‍රී ලංකාව ඉකුත් 2015 වසරේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ගැනීමට සමත් විය.

අසල්වැසි ඉන්දියාව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 31ක් සහභාගී කොට රන් පදක්කම් 4ක්, රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 3ක් දිනා 7වැනි ස්ථානයේ පසු විය. එම පදක්කම් සියල්ල ජූඩෝ හා බොක්සිං ක්‍රීඩා වලට සීමාවී තිබුණි. දකුණු ආසියාව නියෝජනය කරමින් සහභාගීවූ බංග්ලාදේශයට හා පාකිස්තානයට කිසිදු පදක්කමක් මෙවර හිමි නොවීය.

07 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙල 2021 වසරේදී අයර්ලන්තයේදී පැවැත්වීමට නියමිතය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *