රජය කිසිම විටෙක කිසිදු වෘත්තීය සමිතියක් සමඟ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කර නැහැ- අගමැති

(කොළඹ, ලංකාපුවත්) – රජය කිසිම විටෙක කිසිදු වෘත්තීය සමිතියක් සමඟ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කර නොමැති බවත් ඛනිජ තෙල් බෙදා හැරීමේ සියලු කටයුතු යථා තත්ත්වයට පත් වෙමින් පවතින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කිරීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

ජනතා යහපත වෙනුවෙන් යහපත් පිළිවෙතින් අයහපත් දේ යටපත් කරනවා. ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කිරීමේ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කළා. මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය, ප්‍රතිපත්තිය හා දැක්ම මේ සභාවට පැහැදිළි කළ යුතු යැයි අප කල්පනා කළා. අප එසේ කරන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හා ප්‍රජාතන්ත්‍රවාදය අගයයන් ආරක්ෂා කිරීමට අපේ රජය සැමවිටම කැප වී සිටින නිසයි.

පසුගිය කාලයේ එවැනි පිළිවෙතක් ක්‍රියාත්මක වුණේ නෑ.රාජපක්ෂ රෙජීමය සමයේ පාර්ලිමේන්තුව නිකම්ම නිකම් සීල් එකක් බවට පත් කර තිබුණා. ජනවාරි 08 වන දා විප්ලවය මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස මේ රටේ බහුතර ජනතව පත් කර ගත් පසු අප නැවතත් ප්‍රජාතන්ත්‍රවාදී අගයන් රට තුළ ස්ථාපිත කරලීමට කටයුතු කළා. පාර්ලිමේන්තුව බල ගැන්වූවා.

ඕනෑම වෘත්තීය කණ්ඩායමක් සිය වෘත්තියේ උන්නතිය හ සුබ සාධනය වෙනුවෙන් කරනු ලබන ඉල්ලීම්,අරගල විරෝධතා ව්‍යාපාර පිළිබඳව අපට කිසිදු ගැටළුවක් නෑ. නමුත් කිසියම් පිරිසක් පදනම් විරහිතව කිසිදු පිළිගත හැකි හේතු නොමැතිව රටේ සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කොට රට අස්ථවර භාවයට පත් කිරීමට අප ලබාදුන් නිදහස පාවිච්චි කරනවා නම් රජයක් හැටියට වගකීමකින් යුතුව ක්‍රියා කිරීමට අප බැදී සිටිනවා.

අපේ රජය කිසිම විටෙක කිසිදු වෘත්තීය සමිතියක් සමඟ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කර නැහැ. ඛනිජ තෙල් වෘත්තීය සමිති සමඟ අපේ මැති ඇමතිවරුන් අවස්ථා ගණනාවක දී සාකච්ඡා පවත්වා තිබෙනවා. මම අප්‍රේල් 24 සහ ජූලි 13 යන දිනවල ඔවුන් සමඟ සාකච්ඡා කළා.
මේ සාකච්ඡාවලදී ප්‍රධන කරුණු තුනක් පිළිබඳව අවධාරණය කළා. පළමු වැන්න හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳව, ත්‍රීකුණාමලය තෙල් ටැංකි පිළිබඳව, තුන්වැන්න සපුගස්කන්ද තෙල් ටැංකි පිරිපහදුව නවීකරණය පිළිබඳව. මෙයින් දෙවැනි හා තුන්වැනි කරුණු පිළිබඳව අප එකඟතාවයට පමිණියා. අප දැන් ඛනිජ තෙල් වෘත්තීය සමිති ඉල්ලීම් වරාය අමාත්‍යාංශයට යොමු කර තිබෙනවා. රජයේ කිසිදු ක්‍රියා පිළිවෙතකින් තෙල් සංස්ථාවට අගතියක් හෝ හානියක් සිදු නොවන බවට මා වෘත්තීය සමිති හමුවේ සහතික වුණ බවද මෙහිදී සඳහන් කරන්නට කැමතියි. මෙවැනි පසුබිමක ඛනිජ තෙල් වෘත්තීය සමිති හදිසි වර්ජයනය කැඳවීම අවසනාවන්ත තත්ත්වයක්.

වර්තමානයේ රටපුරා ඩෙංගු වසංගතය පවතිනවා. ඩෙංගු පාලනයට වැළැක්වීමට හා රෝගීන් සුවපත් කිරීමට පක්ෂ පාට ජාති ආගම් ආදී සියලු භේද ඉවතලා රටේ බහුතර ජනතාව වෙහෙසෙන අවස්ථාවකයි ශක්‍රයා එක්කවත් සාකච්ඡා කරන්නේ නෑ කියමින් ඛනිජ තෙල් වර්ජනය ක්‍රියාත්මක කරන්නේ.

ඛනිජ තෙල් බෙදා හැරීම අඩපන වුණොත් රටේ එදිනෙදා කටයුතු අඩපණ වෙනවා. රෝහල් සේවක සේවිකාවන්ගේ ගමනාගමනය,ගිලන් රථ ධාවනය, ධීසල් විදුලි ජනනය, පොදු ප්‍රවාහන සේවා ආදී සෞඛ්‍ය සේවාවන්ට සෘජුව බලපාන ක්ෂේත්‍ර ගණනාවකට මේ වර්ජනය බලපානවා.
ගුවන් යානා ගමන් ඇනහිටීම, අවාරය අංගනයන්ට තෙල් නොමැතිවීම නිසා බහාලුම් කටයුතු නතර වීම නිසා ආර්ථිකයට බලපානවා. සාමාන්‍ය ජන ජීවිතයට බාධා වෙනවා. ආරම්භ වීමට නියමිත පාසැල් විභාග කටයුතු අඩාල වෙනවා.

ඊයේ රාත්‍රියේ යම් යම් සිදුවීම් ඛනිජ තෙල් පරිශ්‍ර තුළ සිදුවීමට යනබව වාර්තා වුණා. ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස නම් කළේ මේ සියලූ කරුණු ඉතා සැලකිල්ලෙන් අධ්‍යයනය කිරීමෙන් පසුවයි. පරිශ්‍රයන් හා ප්‍රවේශ මාර්ග ආරක්ෂාවට ආරක්ෂක හමුදාව එක් වුණා.අද දහවල් වන විට සියලු කටයුතු යථා තත්ත්වයට පත් කෙරුණා. මේ වනවිට ඉන්ධන බවුසර් පිටත් කෙරෙමින් පවතිනවා. ගුවන් යානා ඉන්ධන රැගත් දුම් රිය කටුනායක බල යන්නට සූදානම්. සියලු කටයුතු යථා තත්ත්වයට පත් වෙමින් පවතිනවා.

රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නයකත්වයෙන් යුතු අපේ රජය හැමවිටම ක්‍රියා කරනව. අප යහපත් දේ අගය කරනවා. අයහපත් දේ ආරක්ෂා කරනවා. යහපත් දේ වෙනුවෙන් පෙනී සිටිනවා., නමුත් අයහපතට ඉඩ දෙන්නේ නෑ. අපි ජනතා යහපත වෙනුවෙන් යහපත් පිළිවෙතින් අයහපත් දේ යටපත් කරනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + eight =