පාදයක් බද්ධ කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සැත්කම අනුරාධපුර රෝහලෙන්

(කොළඹ, ලංකාපුවත්) – මෙරට අවයව බද්ධ කිරීමේ හා වෛද්‍ය ඉතිහාසයට නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම පාද බද්ධ කිරීමේ සැත්කම අනුරාධපුර ශික්‍ෂණ රෝහලේදී පෙරේදා (24)සාර්ථකව සිදු කොට තිබේ.

බොහෝ විට හදිසි අනතුරුවලට ලක්වීමෙන් වෙන්වූ තමන්ගේ ම අත් හෝ පාද බද්ධ කිරීමේ ශල්‍යකරම මීට පෙර ශ්‍රී ලංකාවේදී සිදු කොට තිබුණද මොළය මිය ගිය රෝගියකුගේ පාදයක් ගෙන වෙනත් රෝගියෙකුට බද්ධ කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ රුධිරවාහිනී සහ අවයව බද්ධ කිරීමේ විශේඥ වෛද්‍ය කණ්ඩයමක් විසින් මෙම විශ්මිත සැත්කම ඉතා සාර්ථකව සිදුකොට තිබේ.

මීට වසරකට පෙර හදිසි අනතුරක් හේතුවෙන් දරුණු ලෙස වම් පාදයකට හානි වී තිබීමෙන් එම පාදය කලවා දෙසින් ඉවත් කල වයස අවුරුදු තිස් දෙකක පුද්ගලයෙකු සඳහා මෙම පාද බද්ධය සිදුකර ඇත.

රෝගී තත්වයක් හේතුවෙන් මොළයට සිදුව තිබූ රුධිර වහනයකින් අනුරාධපුර රෝහලේ දී මොළය මිය ගිය බවට තහවුරු වූ වයස අවුරුදු පනස් දෙකක පිරිමි රෝගියකුගේ පාදය ගෙන ඉහත රෝගියා වෙත බද්ධ කළ බවත්, මොළය මිය ගිය මෙම රෝගියාගේ වකුගඩු දෙක මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකය වෙත ලබා දුන් බවත් වෛද්‍ය වරුන් පැවසීය.

මෙය පාදයක් බද්ධ කිරීමේ ලොව පස්වන සැත්කම වශයෙන්ද සැලෙකෙන බවයි වාර්ථා වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *