තරුණ පිරිසට ගැළපෙන සමාජ ආර්ථික ක්‍රමයක් ඇති කළ යුතුයි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – රටේ තරුණ තරුණියන් වෙනුවෙන් ඉදිරි වසර 40 – 50 සඳහා ගැලපෙන සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රමවේද අප ආරම්භ කළ යුතු බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මහරගම, ජාතික තරුණ සේවා සභා මධ්‍යස්ථනයේ දී ආරම්භ වූ “77 පෙරළියට 40” ප්‍රදර්ශනය හා සැණකෙළිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අග්‍රාමාත්‍යවරයා සිදු කළ සම්පූර්ණ කතාව පහත සඳහන් වේ.

1977 ජූලි 21 වන දා නව වෙනසක් ඇති කිරීමට මා ඇතුළු රටේ ජනතාවගෙන් 51% ක ඡන්ද දායකයන් සිය ඡන්දය එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් ලබා දුන්නා. තරුණ තරුණියන්ට, මධ්‍යම පාන්තිකයන්ට, ගොවි කම්කරු ජනතාවට හොඳ අනාගතයක් ඇති කර ගැනීම, බරක් නැති රටක් නිර්මාණය කර ගැනීම ආදී බලාපොරොත්තුවලින් යුතුව ඔවුන් සිය ඡන්දය ලබා දුන්නා. ඒ වෙනස ඇති කිරීම සඳහා ජනතා වරමේ තීන්දුව ජූලි 22 වන දා 5/6 ක බලයක් සහිතව ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාටත්, එම පාර්ලිමේන්තුවටත් හිමි වුණා. මමත් එම 5/6 ක බලයක් සහිත පාර්ලිමේන්තුවේ සාමාජිකයෙක් වුණා.

1977 ජූලි 23 වන දා ජේ.ආර්. ජයවර්ධන මහතා අගමැති ලෙස දිවුරුම් දුන්නා. එදින පස්වරුවේ අපි සියලු දෙනා ඇමැතිවරු සහ නියෝජ්‍ය ඇමැතිවරු ලෙස දිවුරුම් දුන්නා. ඒ ආකාරයට එතුමා විසින් ලංකා දේශපාලනයේ වෙනසක් නොව පෙරළියක් ඇති කළා. එම පෙරළියේ හොඳ නරක දෙකම මිශ්‍ර වූ ප්‍රතිඵලය අද පවතින සමාජයයි. සමාජ ක්‍රමය තුළ ආර්ථික, දේශපාලන ක්ෂේත්‍රයන්හි විප්ලවකාරී වෙනස්කම් රාශියක් ඇති වුණා. ඒ නිසාවෙන් ආසියාවේ අනෙකුත් රටවල් ශ්‍රී ලංකාව අනුගමනය කිරීමට පෙළඹුණා. ඒ හරහා ආසියාව තුළත්, ලෝකයේත් දේශපාලනය තුළ පෙරළියක් ඇති වුණා. එදා මෙම පෙරළිය ඇති වුණේ හොඳින් ජීවත් වීමට වෙනසක් අවශ්‍ය වූ ලංකාවේ ඡන්දදායකයන් නිසයි.

එම යුගය ගැන මම අලුතෙන් පැවසිය යුතු නැහැ. අපි යටත් විජිත පාලනයේ පැවති ක්‍රමවේදය ප්‍රතික්ෂේප කළා. කුල බේදය, ආගම් බේදය ප්‍රතික්ෂේප කළා. සතියකට දවස් දෙකක් බත් කෑම තහනම් කළ, අවුරුද්දට යාර දෙකක් පමණක් රෙදි ලබා දුන්, පාන් ගෙඩියක් ගන්න පෝලිමේ ඉන්න සිද්ධ වුණ සමාජවාදී ආර්ථික ක්‍රමවේදය ප්‍රතික්ෂේප කළා.

ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා අගමැති ලෙස දිවුරුම් දුන්නේ මේ පැරණි ක්‍රමවේදයන් සියල්ල ප්‍රතික්ෂේප කරමිනුයි. 1977 නොවැම්බර් මාසයේ දී රොනී ද මෙල් මුදල් ඇමැතිතුමා පළමු අයවැය හරහා විවෘත ආර්ථිකයක් ඇති කළා. ඒ වගේම මහවැලි යෝජනා ක්‍රමය ආරම්භ කරමින් එය ක්‍රියාත්මක කිරීමේ වගකීම ගාමිණී දිසානායක මහතාට බාර දුන්නා. විවෘත ආර්ථිකය තුළ අපනයන කර්මාන්ත ශාලා ආරම්භ කිරීම සඳහා කටුනායක නිදහස් වෙළෙඳ කලාපය නිර්මාණය කර එය උපාලි විජයවර්ධන මහතාට බාර දුන්නා. ව්‍යවස්ථාව හරහා විධායක ජනාධිපති ක්‍රමය නිර්මාණය කළා. නිදහස්, විවෘත වෙළෙඳ ක්‍රමයක් ඇති කිරීමේ වගකීම ලලිත් ඇතුළත්මුදලි මැතිතුමාට ලබා දුන්නා.

මේ රටේ නොදියුණු ගම්මාන දියුණු කිරීම සඳහා එදා ඇමැතිවරයෙක් ලෙස කටයුතු කළ රණසිංහ ප්‍රේමදාස මහතා ගම්උදාව ආරම්භ කළා. රටේ සෑම ප්‍රදේශයකටම රෝහල්, විදුලි බලය, පානීය ජල පහසුකම්, ස්ථිර නිවාස, රූපවාහිනී, පොත්පත්, ජංගම දුරකථන, ත්‍රීරෝද රථ, වතුකරයේ පහසුකම් දියුණු කිරීම, පරිගණක තාක්‍ෂණය ශ්‍රී ලංකාවට ගෙන ඒම ආදී සියලූ දේ සිදු වුණේ එදා ආණ්ඩුව අනුගමනය කළ ක්‍රියාමාර්ග නිසා බව මම කියන්න කැමතියි.

ඒ කාලයේ අපි සෑම ගම්මානයකටම ගියා. සිංහල රජවරුන්ටත් වඩා වැඩියෙන් මහවැලි යෝජනා ක්‍රමය යටතේ ජලාශ නිර්මාණය කරමින් ගොවිතැන දියුණු කිරීම සඳහා අවශ්‍ය පියවර ගත්තා. විදුලි බලාගාර ඇති කළා. අලූත් ආර්ථිකයක්, අලූත් සමාජ ක්‍රමයක් බිහි වුණේ මේ සියලූ දේ හරහායි.

අද ජාතික තරුණ සේවා සභාව පිහිටා තිබෙන මෙම ස්ථානයේ එකල පැවතුණේ ක්‍රීඩා පිටියක්. 1977 මහ මැතිවරණයේ දී ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රේමරත්න ගුණසේකර මහතා වෙනුවෙන් එම ක්‍රීඩා පිටියේ විශාල රැස්වීමක් පැවැත්වුණා. අද හයිලෙවල් මාර්ගය පිහිටා තිබෙන ප්‍රදේශයේ සිට මෙම ක්‍රීඩාංගනය පුරාම විශාල ජන ගංඟාවක් එදා එම රැස්වීමට සහභාගි වී සිටියා. පසු කාලයේ මෙම ස්ථානයේ ජාතික තරුණ සේවා සභාව ඇති කිරීමට මම වැඩ කටයුතු කළා.
ජනාධිපති විද්‍යාලය, ජාතික අධ්‍යාපන ආයතනය ආදී ආයතන අපි ආරම්භ කළා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ පාලන කාලයෙන් පසුවත් එදා ආරම්භ කළ ක්‍රියාමාර්ගයන් නැවතුණේ නැහැ. ප්‍රේමදාස ජනාධිපතිතුමා, ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා එම ක්‍රමවේදයන් ඉදිරියට ගෙන ගියා. පක්‍ෂ බලය මාරු වී චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජනාධිපති ධූරයට පත් වුණ නමුත් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ ක්‍රමවේදයන් සහ එම මූලධර්ම මත රට ඉදිරියට ගියා. පොදු පෙරමුණ රජයත් එම ක්‍රියාමාර්ගයන් අනුගමනය කළා. කලක් චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය සමඟ මම අගමැති ලෙස කටයුතු කරමින් එම ක්‍රමවේදයන් තවත් ඉදිරියට රැගෙන ගියා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාත් මෙම ක්‍රමවේදයන් නැති කළේ නැහැ. හොඳ සහ නරක සමඟ ඔවුන් ද එම ක්‍රමවේදයත් සමඟ ඉදිරියට ගියා.

මේ වන විට ලංකා දේශපාලනයේ තවත් විප්ලවයක් ඇති කරමින් පළමු වතාවට පොදු අපේක්‍ෂකයෙක් බලාත්මක වී ජාතික ආණ්ඩුවක් ඇති කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් සමඟ එම ක්‍රමවේදයන් තවදුරටත් ආරක්‍ෂා කරමින්, අඩුපාඩු හදා ගනිමින් ඉදිරියට යාමට අප කැප වී සිටිනවා. අද අප ඉදිරියේ ඇති අභියෝගය එයයි.

ආසියාව වෙනස්වීම්වලට භාජනය වුණා. නව තාක්‍ෂණය පැමිණියා. එම දියුණුව ඇති වන විට සාම්ප්‍රදායික බලපෑම් ද ඇති වුණා. විවෘත ආර්ථිකය ඇති කරන විට බෙදුම්වාදය, වෙනම රාජ්‍යයක්, ත්‍රස්තවාදය වැනි අභියෝග අප බාරගත්තා. එදා පැවැති යුද්ධයෙන් රටට විශාල හානියක් සිදු වී රටක් ලෙස ඉදිරියට යන ගමන ප්‍රමාද වුණා. ඇතැම් අවස්ථාවල එම ගමන මඟ නතර වුණා. නමුත් ලෝකයේ ගමන නතර වුණේ නැහැ.

චීනයේ ඩෙංෂියාඕ පෙන් යළි බලයට පත් වූ බව 1977 ජූලි 23 වන දා බීබීසී ආයතනය වාර්තා කළා. ඔවුන්ටත් ලබාගත් බලය තහවුරු කර ගැනීමට වසර දෙක තුනක කාලයක් ගත වුණා. 1980 දී ශ්‍රී ලංකාව සිංගප්පූරුව වැනි රටවල් දෙසට අවධානය යොමු කරමින් එතුමා චීනය තුළ විශාල ආර්ථික, සමාජ ප්‍රතිසංවිධානයක් ආරම්භ කළා. එහි ප්‍රතිඵල ලැබෙන විට 1991 පමණ වුණා. ඒ වගේම ඉන්දියාවේ නරසිංහ රාඕ අගමැතිතුමාත් එවැනි විශාල පෙරළියක් රට තුළ ආරම්භ කළා. ලෝකයේ ජනගහනයෙන් වැඩිම රටවල් දෙක වන ඉන්දියාව සහ චීනය ඒ ආකාරයට සාර්ථකත්වයට පත් වුණා. වියට්නාමයත් අද එම තත්ත්වයට පත්ව සිටිනවා. නැවත ආපසු නොහැරෙන බලවේග හේතුවෙන් ඔවුන් ඉදිරියටම ගියා.

අපත් දැන් ඉදිරියට යා යුතුයි. යුද්ධය හේතුවෙන් අපේ ජනතාව විශාල කැපකිරීම් සිදු කළා. ඔවුන් විශාල වශයෙන් දුක් වින්දා. එසේ නම් දැන් ඔවුන් බලාපොරොත්තු වන්නේ නැවතත් දියුණු සමාජයකට අවතීර්ණය වීමටයි.

වර්තමානය වන විට ගම්මානවල ආදායම අඩු වී තිබෙනවා. ගම්මානවල ජනතාව දුප්පත් ජනතාවක් බවට පත් වෙමින් තිබෙනවා. රැකියා බලාපොරොත්තුවෙන් මැදපෙරදිග යාමට හෝ නගරයට පැමිණීමට ඔවුන්ට සිදුවී තිබෙන අතර තමන්ට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන බව අද ඔවුන් පවසනවා. එසේ නම් දැන් අලූත් ගැටලූ අප ඉදිරියේ නිර්මාණය වී තිබෙනවා. අප 77 පෙරළිය පිළිබඳව කතා කරනවා වගේම මේ ගැටලූවලට විසඳුම් ලබාදෙමින් එම පෙරළිය ආරක්‍ෂා කර ගත යුතු වනවා.

5/6 ක බලයක් නොමැති වුවත් අනෙක් පක්‍ෂ එකතු කර ගනිමින් ජාතික ආණ්ඩුවක් අප නිර්මාණය කළේ එම අරමුණ ඉටු කර ගැනීම සඳහායි. එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට පළමු මාස 4 තුළ අවශ්‍ය වැඩ කටයුතු ආරම්භ කිරීමට හැකි වුණා. නමුත් බලය ලබාගැනීමෙන් පසුව අපට සිදුවුණේ ලෝකයෙන් කොන් වූ රටක් ලෙස නැවත ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමයි. පසුගිය කාලය තුළ අප නැවත එම ජාත්‍යන්තර සහයෝගය ලබා ගත්තා. යුද්ධය අවසන් වුවත් සාමය නොමැති රටක් තුළ සංහිදියාව ඇති කළ යුතුයි. උතුර – දකුණ නොබෙදී වැඩ කටයුතු කළ යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලූම ජනතාව එක්ව ජීවත් විය යුතුයි. අද අපි ඒ තත්ත්වයට පැමිණ තිබෙනවා. උතුරත් – දකුණත් බෙදීමකින් තොරව නමෝ නමෝ මාතා ලෙස ජාතික ගීතය ගායනා කරනවා. ඒ අනුව අප සියල්ලෝම එක් මවකගේ දරුවන් බව පළමු වතාවට දෙමළ බසිනුත් ගායනා කිරීමට යුද්ධයෙන් පසුව අපට හැකි වී තිබෙනවා.

මේ සියලූ දේවල් සමග අප ඉදිරියට යා යුතුයි. ආපසු හැරීමට නොහැකියි. ඒ වගේම අප බාර ගත්තේ විශාල ණය බරක් සහිත රටක් බව කිව යුතුයි. එම ණයවල පොලිය ගෙවා ගැනීමට පවා නොහැකි රටක් බවට අපේ රට පත්ව තිබුණා. නමුත් වැට් බදු වැඩි කිරීම වැනි අසීරු තීරණ ගනිමින් ආර්ථික ස්ථාවර භාවයක් ඇති කිරීමට අපට වසර දෙකක් වැනි කාලයක් ගත වුණා. අප ළගා කර ගෙන ඇති ආර්ථික ස්ථාවර භාවය අද ජාත්‍යන්තරයම පිළිගන්නවා. තරුණ තරුණියන් බලාපොරොත්තු වන අනාගතය නිර්මාණය කිරීමට හැකියාව ලැබෙන්නේ මෙතැන් සිටයි. සුළු පිරිසක් දොස් කියන්නේ තවමත් එම තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු ඉටු වී නොමැති නිසයි. නමුත් අප පළමුව සිදු කළේ පදනම සකසා ගැනීමයි. දැන් ඉදිරියට යාමේ හැකියාව අපට තිබෙනවා.

එදා මහවැලි ව්‍යාපෘතිය ආරම්භ කළ ආකාරයටම අද මහනුවර සිට හම්බන්තොට දක්වා විශාල සංවර්ධන සැලැස්මක් අපට තිබෙනවා. ඒ වගේම පොළොන්නරුව, ත්‍රිකුණාමලය, අනුරාධපුරය දියුණු කරමින් විශාල ආර්ථික කලාප ඇති කරනවා. අනෙකුත් ප්‍රදේශ ද දියුණු කිරීමට කටයුතු කරන අතර නව කර්මාන්ත රැගෙන ඒම, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම, නව තාක්‍ෂණය ගෙන එමින් අපේ තරුණ තරුණියන් දැනුමෙන් සන්නද්ධ කිරීම ආදී වැඩ කටයුතු රාශියක් අප ඉදිරියට සිදු කරනවා. ලෝක වෙළෙඳපොළට ඇතුලූ වී තරග කර ජය ගැනීමට අප කටයුතු කළ යුතුයි. පරාක්‍රමබාහු රජතුමාගේ පාලන කාලයේ දී මෙන් වෙළෙඳපොළේ ආධිපත්‍ය පතුරුවාලිය යුතුයි. අප කැප වී ක්‍රියා කරන්නේ එම අරමුණ ඉෂ්ඨ කර ගැනීමටයි.

බලය ලබා ගනිමින් වසර දෙකක් ගත වුණත් එම කාලය තුළ අප රට දියුණු කිරීම සඳහා අවශ්‍ය පදනම සකසා ගත්තා. අප මේ සියලූ කටයුතු සිදු කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනුයි. එහි පළමු අදියරේ දී අප සෙමින් කටයුතු කළත්, සීඝ්‍රයෙන් ඉදිරියට යාමේ කාලය දැන් එළැඹතිබෙනවා. අප සංවර්ධන කටයුතු ආරම්භ කරමින් යහපත් පාලනයකට අවශ්‍ය රාමුව නිර්මාණය කළා. ඒ සඳහා යම් කාලයක් ගත වුණත් අප එය සිදු නොකළා නම් අපට රට ආරක්‍ෂා කිරීමට නොහැකි වෙනවා.

එසේ නම් ඊළඟ පෙරළිය ඇති කිරීම සඳහා 77 පෙරළියේ ආදර්ශය ලබාගත යුතුයි. එම පෙරළියේ පදනම අනුගමනය කරමින් ලංකාවේ පමණක් නොව ලෝකයේම වෙනසක් ඇති කරමු. රටේ තරුණ තරුණියන් වෙනුවෙන් ඉදිරි වසර 40 – 50 සඳහා ගැලපෙන සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රමවේද අප ආරම්භ කළ යුතු බව මම කියන්න කැමතියි.

1977 පෙරළිය ඇති කළ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාටත්, එය ඉදිරියට ගෙන යාමට සහයෝගය ලබා දුන් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා, ගාමිණී දිසානායක මැතිතුමා, ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා වැනි ජීවතුන් අතර නැති සියලූ දෙනාට අපි ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම එම පෙරළියෙන් පසු තවමත් ජිවතුන් අතර සිටින රොනී ද මෙල් මැතිතුමා වැනි අයට අප දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.

අපෙන් පසුව බලයට පැමිණි සියලූම රජයන්වල, මෙම පදනම ආරක්‍ෂා කළ දැනට ජීවතුන් අතර නොමැති සියලු දෙනාට මම ස්තූතිවන්ත වන අතර ජීවතුන් අතර සිටින සියලු දෙනාට ආශිර්වාද කරනවා.

චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවේත්, රාජපක්‍ෂ ආණ්ඩුවේත් මෙම ක්‍රමවේද ඉදිරියට රැගෙන ගිය මෙන්ම එම පදනම විනාශ කරමින් පසුපසට ගෙන ගිය අය ද සිටියා. ඔවුන් ගැන මා මේ අවස්ථාවේ දී කතා කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් කුමන පක්‍ෂයකට අයිති වුවත්, නැතත් එම රාමුව ආරක්‍ෂා කිරීමට උත්සාහ කළ සියලූ දෙනාටත්, එම පෙරළිය නිර්මාණය කිරීමට දායක වූ ජීවතුන් අතර සිටින, නොසිටින සියලූ දෙනාටත් මම ස්තූතිවන්ත වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + nineteen =