පකිස්තාන අගමැති නවාස් ෂරීෆ් ඉල්ලා අස්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ධුරයේ කටයුතු කිරීමට නුසුදුසු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමග පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් එම ධුරයෙන් ඉල්ලා අස්වේ.

දූෂණ චෝදනා සම්බන්ධයෙන් පැවති විමර්ශනවලින් අනතුරුව පාකිස්තාන අගමැතිවරයා එම ධුරයේ කටයුතු කිරීමට නුසුදුසු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අගමැතිවරයාගේ දරුවන් හා විදේශීය සමාගම් අතර සබඳතා පැවති බව පැනමා ලිපිගොනුවලින් අනාවරණය වීමත් සමග ඔහුගේ පවුලේ වත්කම් පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කෙරිණි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ තීන්දුව දෙනු ලබන අවස්ථාවේ ඉස්ලාමාබාද් අගනුවර ආරක්ෂාව තර කර තිබිණි.

අදාළ චෝදනා අගමැති ෂරීෆ් දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය.

පංච පුද්ගල මඩුල්ලක් විසින් අදාළ තීන්දුව ලබා දෙනු ලැබීය.

සිය දරුවන් නීත්‍යානුකූල ලෙසින් ලන්ඩන් නුවර නිවාස මිලදී ගෙන තිබෙන බව පවසන නවාස් ෂරීෆ්, ඒ කිසිවක් තමන්ට අයත් දේපොළ නොවන බව ද අවධාරණය කරයි.

අගමැතිවරයාගේ බලය යොදාගනිමින් නීති විරෝධී ලෙසින් වත්කම් උපයා ගන්නා බවට විරුද්ධ පක්ෂ, ඔහුගේ පවුලේ සාමාජිකයන්ට චෝදනා කරන අතර එබැවින් අගමැතිවරයා පදවියෙන් ඉල්ලා අස් විය යුතු බවට බලකරමින් සිටිති.

විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැතිවරයා කියා සිටියේ එය “චෝදනා සහ උපකල්පනවලින්” සමන්විත වූවක් බවය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිගන්නා ලෙස පාකිස්තාන අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය චෞද්‍රි අලි ඛාන් අගමැති ෂරීෆ්ට දැනුම් දී තිබිණි.

අගමැතිවරයාගේ දියණිය මර්යම් ෂරීෆ් සහ ඇයගේ ස්වාමි පුරුෂයා වන සෆ්දර්, මුදල් ඇමති ඉෂාක් දාර් සහ සෙසු පුද්ගලයන්ට එරෙහිව ඇති දූෂණ චෝදනා විභාග කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය නිර්දේශ කර තිබේ.

පාකිස්තාන ජනතාව අතරින් අගමැති ධුරයට පත් එකඳු පුද්ගලයෙකු හෝ ඔවුන්ගේ සම්පූර්ණ ධුර කාලය අවසන් කර නොමැත.

නවාස් ෂරීෆ් පාකිස්තාන අගමැති ධුරයට පත් වූයේ තෙවන වරටය. වසර පහක සම්පූර්ණ ධුර කාලය අවසන් කිරීම සඳහා ඔහුට තිබුණේ වසරකට අඩු කාලයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *