‍පාර්ලිමේන්තුව අගෝස්තු හතර දිනට කල්තබයි

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුවේ කටයුතු අගෝස්තු 04 වන දින දක්වා කල්තැබීමට කතානායක කරු ජයසූරිය මහතා විසින් අද (28) තීරණය කළේ ය.

සභා ගර්භයේ ඇතිවූ නොසන්සුන්තාවක් හේතුවෙන් එම තීරණය ගැණුනි.

ඛනිජ තෙල් බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ගැසට් නිවේදනයට අදාළව අද පෙරවරුවේ ඡන්දවිමසීමක් පැවත්වෙමින් සි‍ටියදී ඒ අතරතුර නොසන්සුන්තාවක් හටගන්නා ලදි.

ඒ අනුව පාර්ලිමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙනයාමට නොහැකි අයුරින් බාධා පැමිණීම හේතුවෙන් මෙලෙස පාර්ලිමේන්තුව කල්තැබීමට කටයුතු කළේය.

ඡන්ද විමසීම නාමිකව සිදු කිරීමට කතනායකවරයා ඡන්දය විමසීමට සූදානම් වන අවස්ථාවේ දී සභාවට දැන්වීය. ඒ අනුව ඡන්දය විමසීම නාමිකව සිදු කිරීම ආරම්භ වූ අතර යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසීම ප්‍රකාශ කරන අවස්ථාවේ දී විපක්ෂයේ විරෝධතා මතු වූ අතර සභාවේ කටයුතු උණුසුම් තත්ත්වයක් ඇති විය. අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනාව සම්මත විය.

”සියලුම ඉන්ධන සැපයුම, හා බෙදා හැරීම සහ රේගු ආඥා පනතේ අරමුණු සඳහා වරායක් ලෙස නිර්වචනය කර ඇති ඕනෑම වරායක් තුළ නැවකින් තෙල් හෝ ඉන්ධන බැහැර කිරීම, ප්‍රවාහනය කිරීම,ගොඩබෑම, ගබඩා කිරීම, භාරදීම හෝ ඉවත් කිරීමට අදාළව සිදු කළ යුතු අත්‍යාවශ්‍ය වන සියලු සේවාවන්,වැඩ හෝ ඕනෑම ආකාරයක ශ්‍රමය යෙදවීම යන සේවාවන් සැපයීමේහි නිරතවන ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමූපකාර සමිතියකින් හෝ එවැනි ආයතනයකින් සපයනු ලබන සේවාවන් සාමාන්‍ය ජනන් ජීවිතය පවත්වා ගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සැලකිල්ලට ගනිමින් හා එම සේවාවන් සැපයීමට අවහිරයක් හෝ බාධාවක් ඇතිවීමට හැකියාවක් පැවතීම හේතුවෙන් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්, දෙපාර්තමේන්තුවකින්, සමූපකාර සමිතියකින්, සපයනු ලබන සේවාවන් ඉහත කී වගන්තියේ කාර්යයන් සඳහා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ජනාධිපතිවරයා විසින් 2017 ජුලි 25 දිනැති අංක 2029/23 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ නියමයන් මඟින් 2017 ජුලී 25 දින සිට ශ්‍රී ලංකාව මුළුල්ලේ ම ක්‍රියාත්මක කරමින් කරන ලද ප්‍රකාශය අනුමත කළ යුතු බවට පාර්ලිමේන්තුවට යෝජනාව” ඉදිරිපත් කෙරිණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *