පාසල් ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනට ආරක්ෂක අංශ එක්වෙයි

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ සියලු ම පාසල් ඩෙංගුවලින් තොර කලාපයන් බවට පත්කිරීම අරමුණු කරගනිමින් අද (28) හෙට (29) සහ 30 යන තෙදින තුළ විශේෂ ඩෙංගු රෝග මර්දන වැඩසටහනක් සෑම පාසලක ම ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව, පාසල් දරුවන්, ආදිශිෂ්‍යයින්, දෙමව්පියන් ඇතුළු පාසල් ප්‍රජාවගේ සහභාගීත්වය ද ඇතිව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහයෝගය ද ලබාගනිමින් මෙම වැඩසටහන් සියලු පාසල් තුළ සක්‍රීය ව ක්‍රියාවට නැංවීමට අපේක්ෂිතය.

මීට අමතරව මෙම විශේෂ වැඩසටහන සඳහා පාසල් ප්‍රජාව සමඟ ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ‍සිවිල් ආරක්ෂක බළකාය ද අත්වැල් බැඳගනු ඇත.

හෙට දිනයේ සුපුරුදු පරිදි පාසල් පැවැත්වෙන අතර, අධ්‍යයන කටයුතු වෙනුවට පාසල් කාලය පුරා පාසල් දරුවන් ද සම්බන්ධ කරගනිමින් මෙම පවිත්‍රතා ශ්‍රමදාන වැඩසටහන ක්‍රියාවට නැංවා තිබේ. මෙහි දී පාසල් දරුවන්ට පාසල් නිලඇඳුම වෙනුවට ශ්‍රමදාන කටයුතු සඳහා සහභාගී විය හැකි විනීත ඇඳුමකින් සැරසී පැමිණීමට ද අවසර ලබා දී තිබේ.

මෙම ඩෙංගු මර්දන ශ්‍රමදාන වැඩසටහන එළඹෙන සෙනසුරාදා(29) සහ ඉරිදා(30) දිනයන්හි දී ද පාසල් පරිශ්‍රයන් සහ ඒ අවට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති අතර, ඒ සඳහා ද පාසල් ප්‍රජාවගේ සක්‍රීය දායකත්වය ලබාගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *