ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි එජාපයෙන් තරුණයින්ට ප්‍රමුඛතාව

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි තරුණ අපේක්ෂකයින්ට වැඩි ප්‍රමුඛතාවක් ලබාදීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා සදහන් කරයි.

උගත්, තරුණ, සමාජය පිළිගත්, පිරිසිදු චරිත ඇති තරුණ අපේක්ෂකයින්ට මෙහිදී ප්‍රමුඛතාවක් ලබාදෙන බවත් මේ මාසයේ සිට තරුණ අපේක්ෂකයින් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම සිදු කරන බවත් අමාක්‍යවරයා පැවසීය.

රටේ අභියෝගවලට මුහුණ දිය හැකි අලුත් දේශපාලන නායකයින් කණ්ඩායමක් පක්ෂයට එක් කර ගැනීමත්, එජාපයේ බිම් මට්ටමින් වැඩසටහන් ඔවුන් මගින් ක්‍රියාත්මක කිරීමටත් මෙමගින් අපේක්ෂා කරන්නේ යැයිද ඔහු කීය.

සිරිකොත අද(31) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් කබීර් හෂීම් අමාත්‍යවරයා මේ බව පැවැසුවේය.

මේ සම්බන්ධයෙන් තරුණ අපේක්ෂකයින් දැනුවත් කිරීම සඳහා මාධ්‍ය මඟින් දැනුවත් කිරීම් සිදු කරන බව ද ඇමැතිවරයා කීය.

මීට පෙර තරුණ අපේක්ෂකයින් සඳහා ඉල්ලුම්පත් කැඳවූ බවත් එම අවස්ථාවේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි වූ පුද්ගලයින්ට මේ අවස්ථාවේදි ඉදිරිපත් කළ හැකි බවත් ඇමැතිරවාය පැවැසුවේය.
එජාපයේ ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික් කළමනාකරුවන්, දිස්ත්‍රික් නීති ලේකම්වරුන් කැඳවා ලබන 03වනදා විශේෂ වැඩමුළුවක් පවත්වන්නේ යැයි ද, ඉදිරියේදි පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය, එජාපයේ අලුත් වැඩපිළිවෙළ පිළිබදව එහිදී සාකච්ඡා කරන්නේ යැයි ද ඇමැතිවරයා පැවැසුවේය.

එක්සත් ජාතික පක්ෂය මැතිවරණයකට සූදානම් වෙමින් සිටින බවට එමගින් පණිවුඩයක් ලබාදෙන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + 9 =