සංවර්ධන වැඩසටහන් කොළඹට හා දකුණට පමණක් සීමා වී නැහැ- අගමැති

(කොළඹ, ලංකාපුවත්) – කර්මාන්තකරණය පදනම් කර ගනිමින් සංවර්ධනය ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අප ආරම්භ කරන මේ සංවර්ධන වැඩසටහන් කොළඹට හා දකුණට පමණක් සීමා වී නැහැ. සංවර්ධන සැලැස්ම මහනුවර සිට කුරුණෑගල, කුලියාපිටිය, හලාවත හරහා කොළඹටත්, ඉන් පසුව එය දකුණු පළාත හරහා මොණරාගල ප්‍රදේශයටත් ව්‍යාප්ත කිරීමට අප සැලසුම් කර තිබෙනවා යැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (30) අලූත්ගම, කන්දේ විහාරයේ පැවැති ආගමික පූජෝත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමිනි.

අලූත්ගම, කන්දේ විහාරයේ පැවැති ආගමික පූජෝත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා-
අද දිනයේ මෙම ආශිර්වාද පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් කන්දේ විහාරයේ නායක ස්වාමීන් වහන්සේ ඇතුලූ සියලූම ස්වාමීන් වහන්සේලාට මම ස්තූතිවන්ත වෙනවා. අද මෙම විහාරස්ථානයට බෞද්ධ, මුස්ලිම්, කතෝලික
සියලූම බැතිමතුන් පැමිණ තිබෙනවා.
අපි අද ආලෝක පූජාවක් ද සිදු කළා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ ජාතික ආණ්ඩුව කලූතර දිස්ත්‍රික්කයටත් එවැනිම පූජාවක් සිදු කිරීමට සැරසෙනවා. කලූතර දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම එම පූජාවයි. මෛත්‍රීපාල
සිරිසේන ජනාධිපතිතුමා පොදු අපේක්‍ෂකයෙක් ලෙස ගෙන එමින් එතුමාගේ සහයෝගය ඇතිව අප ජාතික ආණ්ඩුව නිර්මාණය කළේ මේ රට ණය උගුලෙන් බේරාගෙන සංවර්ධනය කරා යාම සඳහායි.
නියගය, ජල ගැල්ම සහ ඩෙංගු ආදී ව්‍යවසන හේතුවෙන් රටේ ආර්ථික වර්ධන වේගය අඩාල වනු ඇතැයි අප තුළ බියක් ඇතිව තිබුණා. නමුත් පසුගිය වර්ෂයට සමාන හෝ ඊට වඩා වැඩි ආර්ථික වර්ධන වේගයක් මේ අවුරුද්දේ දී ළගා කර ගත හැකි බව මහ බැංකුව ප්‍රකාශ කරනවා. එම ආර්ථිකය වර්ධනය සඳහා දායක වූ සියලූම දෙනාට මම ස්තූතිවන්ත වන අතර නියගය හේතුවෙන් පීඩාවට පත් කෘෂිකාර්මිකයන්ට මගේ කණගාටුව පළ කරනවා. නිසි කලට වේලාවට වර්ෂාව ලැබෙනවා නම් රටේ ආර්ථිකය මීට වඩා ශක්තිමත් කළ හැකි බව මගේ මතයයි.
මේ දිස්ත්‍රික්කයේම ඇමැතිවරයෙක් වන වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ ඇමැතිතුමාත්, වරාය අධිකාරියත්, චයිනා මර්චන්ට් සමාගමත් හම්බන්තොට වරාය පිළිබඳ ගිවිසුමට අත්සන් කළා. මේ හරහා රටේ විශාල ප්‍රශ්න ගණනාවක් විසඳී තිබෙනවා. හම්බන්තොට වරායේ අලාභය වෙනුවෙන් පසුගිය වසර කිහිපයේ බිලියන 46 – 47 ක් පමණ වියදම් කර තිබෙනවා. මේ මුදල් රජයට ඉතිරිව තිබුණා නම් සියලූම දෙනාට නොමිලයේ සෞඛ්‍ය පහසුකම් සැපයීමට තිබුණා. එසේත් නැතිනම් රටේ අධ්‍යාපන කටයුතු සඳහා යොදවන මුදල 60% කින් වැඩි කිරීමට හැකියාව තිබුණා. නමුත් බිලියන 46 – 47 ක් වැනි ප්‍රමාණයක් බිලිගත් මේ සුදු අලියා නිසා කිසිවක් කර ගැනීමට හැකියාව ලැබුණේ නැහැ.

අප වැඩ කටයුතු කළ යුත්තේ රටට වාසිදායක වන ආකාරයටයි. ඩොලර් බිලියන 1.1 ක් මේ වන විට අප ලබාගෙන තිබෙන නිසා ණය ගෙවීමේ හැකියාවක් දැන් අපට තිබෙනවා. ඒ වගේම මත්තල ගුවන් තොටුපොළත් මේ වසර අවසන් වන විට නිසි කළමනාකාරීත්වයක් යටතට පත් කිරීමට අවශ්‍ය කටයුතු ගුවන් සේවා අධිකාරියත්, අදාළ අනෙක් සමාගම් එක්ව මේ වන විට සිදු කරමින් පවතිනවා. ඒ අදාළ සාකච්ඡා ඉදිරියේ දී පවත්වන බවත් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මා සමග පැවසුවා.

මත්තල ගුවන් තොටුපොළත් නිසි කළමනාකාරීත්වයක් යටතට පත් කළොත් ගුවන් සේවා අධිකාරියේ ලාභය ඉහළ යනවා. ඇත්ත වශයෙන්ම කොළඹ වරායට සහ කටුනායක ගුවන් තොටුපොළට, මත්තල ගුවන් තොටුපොලේ සහ හම්බන්තොට වරායේ පාඩුව වෙනුවෙන් ගෙවීමට සිදු වුණා. අපේ නව ක්‍රමවේදය යටතේ හම්බන්තොට වරාය ආදායම් ලබන වරායක් බවට පත් කිරීමෙන් පසුව ඉන් ඇති වන දියුණුව හම්බන්තොටට පමණක් සීමා වන්නේ නැහැ. එහි විශාල වාසියක් කලූතරට සහ ගාල්ලට ලැබෙනවා. ඒ, ප්‍රධාන වාරයන් දෙකක් අතරමැද මේ කලාපය පිහිටා තිබෙන නිසයි.
මා සිතන ආකාරයට ඉන්දියන් සාගරයේ විශාලතම වරාය වන කොළඹ වරාය එක් පැත්තකින් සහ අනෙක් පැත්තෙන් හම්බන්තොට වරාය පිහිටා තිබීමත්, ඒ වගේම කටුනායක ගුවන් තොටුපොළ එක් අන්තයකින් සහ අනෙක් අන්තයෙන් මත්තල ගුවන් තොටුපොළ තවත් අන්තයකින් පිහිටා තිබීමත් නිසා මේ සියල්ලට මැදි වූ ප්‍රදේශයක් ලෙස කලූතර විශාල දියුණුවක් ලබනවා. මහ නගර සංකල්පයට අනුව කොළඹ නගරය සංවර්ධනය කිරීමට අප සැලසුම් කර තිබීම හේතුවෙන් කර්මාන්තකරණය කොළඹින් බැහැර කලූතර ප්‍රදේශයේත්, අවිස්සාවේල්ල, ඉංගිරිය, හොරණ, බණ්ඩාරගම ආදී ප්‍රදේශවලත් සිදු වෙනවා. ඒ වගේම දකුණු අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම් ආරම්භ කරනවා. රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට ද අප බලාපොරොත්තු වෙනවා.
කර්මාන්ත කලාප ඇති කිරීමේ පළමු වැඩසටහන මිල්ලනිය ප්‍රදේශයේ ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා අජිත් පී. පෙරේරා නියෝජ්‍ය ඇමැතිවරයාට ස්තූති කළ යුතුයි. මිල්ලනිය වැනි අක්කර 600 ක් – 700 ක් පමණ විශාල භූමි ප්‍රමාණයක් කර්මාන්ත කලාපයක් සඳහා අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් ද වෙන් කර ගැනීමේ අවශ්‍යතාවයක් පවතිනවා. එවැනිම තවත් කර්මාන්ත පුරයක් රයිගම් පුරවරයේ ද ආරම්භ කරමින් පවතිනවා. කර්මාන්තකරණය ව්‍යාප්ත වන විට එම දියුණුව මෙම ප්‍රදේශවලත් ඇති වෙනවා. කර්මාන්තකරණය පදනම් කර ගනිමින් සංවර්ධනය ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා. කලූතර – අවිස්සාවේල්ල, හම්බන්තොට – මොණරාගල ලෙස විශාල කර්මාන්ත කලාප දෙකක් ඇති කිරීමට අප සූදානම්.

ඒ වගේම බේරුවල සිට මාතර දක්වා විශාල සංචාරක කලාපයක් ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එය ආරම්භ කරන්නේ බෙන්තර, දෙද්දුව ප්‍රදේශයෙන්. සංචාරක කලාප ඇති කිරීම මගින් බෞද්ධ, කතෝලික, මුස්ලිම්
සිද්ධස්ථානවල ද දියුණුවක් ඇති වෙනවා.
අප ආරම්භ කරන මේ සංවර්ධන වැඩසටහන කොළඹට හා දකුණට පමණක් සීමා වී නැහැ. සංවර්ධන සැලැස්ම මහනුවර සිට කුරුණෑගල, කුලියාපිටිය, හලාවත හරහා කොළඹටත්, ඉන් පසුව එය දකුණු පළාත හරහා මොණරාගල
ප්‍රදේශයටත් ව්‍යාප්ත කිරීමට අප සැලසුම් කර තිබෙනවා. ඒ වගේම කෑගල්ලට සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා තවත් වාසියක් ලැබෙනවා. බස්නාහිර සහ දකුණු පළාත් යා කරන අතරමැද කලාපය ලෙස එම ප්‍රදේශයේ විශාල දියුණුවක් ඇති කිරීමට අපට හැකියාව ලැබෙනවා. ඒ වගේම හුදෙකලා වී තිබෙන සිංහරාජ අඩවියේ මැතිවරණ කොට්ඨාශ 5 පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීමට අප තීරණය කළා. ඒ අනුව අගලවත්ත සහ බුලත්සිංහල ප්‍රදේශයන්වල කොටසක් ද ඊට ඇතුළත් වෙනවා.

එසේ නම් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා 1977 ආරම්භ කළ මහවැලි ව්‍යාපෘතියෙන් පසුව මෙරට සිදුවන විශාලතම සංවර්ධන සැලැස්ම වන්නේ මහනුවර සිට වැල්ලවාය, මොණරාගල දක්වා අප ඇති කරන මෙම සංවර්ධන
ව්‍යාපෘතියයි. මේ සියලූ වැඩ කටයුතු අප ආරම්භ කරන්නේ ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමෙන් අනතුරුවයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, අනෙකුත් පක්‍ෂත් එකතු කර ගෙන අප ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළේ රටට වැඩ කිරීම සඳහායි. විරැකියාව ආදී රටේ ප්‍රධාන ගැටලූ
සම්බන්ධයෙන් සටන් නොකර පක්‍ෂ අතර සටන් කිරීමෙන් පළක් වන්නේ නැහැ. ඒ වගේම රටේ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති ලෙස පොළොන්නරුව – රජරට ව්‍යාපෘති ද ආරම්භ කර තිබෙනවා. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පිබිදුණු පොළොන්නරුව, මොරගහකන්ද, මල්වතු ඔය ව්‍යාපෘති ආරම්භ කර තිබෙනවා. නැගෙනහිර පළාතේ ඒකාබද්ධ සංවර්ධන සැලැස්ම පිළිබඳව පළාතේ මහ ඇමැතිවරයා සමග මම ඊයේ දිනයේ දී සාකච්ඡා කළා. ඒ වගේම ත්‍රිකුණාමලය නගරය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සංගප්පූරුවේ ප්‍රධානතම සැලසුම් ආයතනය වන සුබානා ජුරොං ආයතනය යටතේ සිදු කරනවා. මීට අමතරව නුවරඑළිය, බදුල්ල සහ උතුරු පළාත පිළිබඳව අප අවධානය යොමු කරනවා. මහනුවර සංවර්ධනය හරහා මාතලේ ප්‍රදේශයත් සංවර්ධනය කෙරෙනවා.
රටේ තරුණ තරුණියන්ට අදට වඩා හොඳ අනාගතයක් ලබාදීම වෙනුවෙන් අප මෙම සංවර්ධන සැලසුම් සියල්ල ක්‍රියාත්මක කරනවා. තරුණ තරුණියන්ට යුද බිය, ණය බර නැති ආර්ථිකයක් අප ලබාදිය යුතුයි. මේ වැඩ කටයුතු සිදු කිරීම සඳහාත්, මේ වන විට රටේ පැතිර යන ඩෙංගු උවදුර දුරුවීම සඳහාත් කන්දේ විහාරයේත්, විශ්ණු දෙවියන්ගේත් ආශිර්වාදය අපි ප්‍රාර්ථනා කරන අතරම කන්ද විහාරයේ නායක ස්වාමීන් වහන්සේට මම ස්තූති වන්ත වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − 5 =