ගල්ගමුවේ මරබියෙන්: වනඅලි නියඟයට ගම්වලට කඩා වදී

(කොළඹ, ලංකාපුවත්) – මේ දිනවල පවතින නියඟයත් සමඟ ආහාර අහේනියෙන් පෙළෙන වන අලි, විදුලි වැටවල් නොතකා සීසීකඩ යන බවත් ගල්ගමුව, අඹන්පොළ, නිකවැරටිය සහ මහව කලාපවල ජනතාව අවදියෙන් සිටින ලෙසත් වනජීවි නිලධාරිහු දැනුම් දෙති.

රජයේ රක්ෂිත සහ කැලෑවල ද ආහාර නොමැතිකමින් වන සතුන් ගම් වැදීම නොවැළැක්විය හැකි කාරණයක් බව ද වයඹ වනජීවි නිලධාරිහු කියා සිටිති.

වයඹ වනජීවි කලාපය තුළ වල් අලි ගම් වැදීම වැළැක්වීම සඳහා විදුලි වැටවල් කිහිපයක් ස්ථාපිත කර තිබුණ ද මේ දිනවල විදුලි වැටවල්වලින් අලින්ගේ සංක්‍රමණයන් පාලනය කිරීම තරමක දුෂ්කර කාර්යයක් බවට පත්වී තිබේ.

මේ හේතුවෙන් විශේෂයෙන් තනිව ගැවසෙන වල් අලි සිටින දිශාවන් නිශ්චිතව හඳුනාගැනීම ගැටලු සහගත බවත් මහව වනජීවි කලාපය භාර වන සත්ව නියාමක එච්.එම් හේරත් මහතා කියා සිටියේය. ඉකුත් දා බඩ ඉරිඟු රැගෙන ඒමට ගිය මහව ඉපලෝගම පදිංචි 72 පුද්ගලයකු වන අලි ප්‍රහාරයකින් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමක දී වන සත්ව නියාමකවරයා මේ කරුණු පැහැදිළි කළේය.

සෑම වර්ෂයකම අප්‍රේල් සිට අගොස්තු දක්වා වු මාසවල වන අලින්ගේ සංක්‍රමණ රටාවන් ව්‍යාකූල වන අතර ආහාර සොයා රංචුවෙන් විසිරී යන ස්වභාවක් පෙන්නුම් කරයි.

මේ තත්ත්වයත් සමඟ වන සතුන්ගේ හැසීරීම් රටාවන් පිළිබඳව පුර්ව නිගමනයන් එළඹීම නොහැකි නිසා ගමන් බිමන්වලදී ආරක්ෂාකාරීවීමට කටයුතු කළ යුතු බැව් වනජීවී නිලධාරිහු පෙන්වා දෙති.

වන අලින්ගේ විසරිමත් සමඟ මේ කාලවකවානුව වන අලි රක්ෂිතවල පන්නා දැමීම ද දුෂ්කර කාර්යයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *