තම ආශීර්වාදයෙන් තොරව අලුත් ආණ්ඩුවක් සෑදීමට කිසිවෙකුට නොහැකි බව ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ප‍්‍රමාණය වෙනස්කර ආණ්ඩු බලය ලබා ගැනීමට කවුරුන් සිහින දුටුව ද අලුත් ආණ්ඩුවක් සෑදීමට නම් තම කැමැත්ත සහ ආශිර්වාදය අනිවාර්යයෙන් ලබාගත යුතු බව සියලුදෙනා සිහිතබාගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

පාර්ලිමේන්තුවේ ආසන 113 ක් හදාගැනීමෙන් පසුව ආණ්ඩුව සහ ජනාධිපතිවරයාත් අවසන් බවට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු අමාත්‍යවරයෙක් ජාතික පුවත්පතකට කර තිබූ ප‍්‍රකාශය ද සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ පාර්ලිමේන්තුවේ ආසන 113 ක් ලබාගත්ත ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව අලුත් ආණ්ඩුවක් සාදාගැනීමේ සිහිනය තම ආශිර්වාදයෙන් තොරව කිසිවෙකුට ඉටුකරගත නොහැකි බවයි.

රටක් ලෙස ඉදිරියට යාමට තිබෙන බාධක ඉවත් කර ගනිමින්, වත්මන් ආණ්ඩුව සිය කටයුතු ඉදිරියට කරගෙන යද්දී පුහු ඝෝෂාකාරීන් පිරිසක් විසින් රට තුළ විවිධ නොසන්සුන්තාවයන් ඇතිකරමින් සිටින බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.

ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ හිඟුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද (31) පෙරවරුවේ එක්වෙමිනි.

අද අැතැම් මාධ්‍ය තුළ ද ඉඩ ලැබී තිබෙන්නේ යහපත් දේ කරන සහ රට පිළිබඳ සැබෑ හැඟීමකින් කටයුතු කරන පිරිස සඳහා නොව, පුහු ඝෝෂාකාරීන් සඳහා බව පැවසූ ජනාධිපතිතුමා මේ හේතුවෙන් රටේ සුළුතර පිරිසක් ආණ්ඩුව පිළිබඳ වැරදි අවබෝධයක් ඇතිකරගෙන තිබෙන බව ද ප‍්‍රකාශ කළේය.

වංචාව, දුෂණය, නාස්තිය මෙන්ම පවුල්වාදය වපුරමින් සහ බලය අනිසි ලෙස භාවිතා කරමින් රට ගෙන ගිය ගමන වෙනස් කර, රටේ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරක්ෂිත කරමින් යහපත් රටක් ගොඩනැගීමට ගමෙන් පැමිණි නායකයෙකු ලෙස තම නායකත්වය යටතේ වත්මන් රජය ගෙනයන වැඩපිළිවෙළ ඉවසාගත නොහැකිව ඇතැමුන් මෙම ඝෝෂා පවත්වමින් සිටින බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

වැරදි කරන අයට රට තුළ පැවැත්මක් නොමැති බව ද සඳහන් කළ ජනාධිපතිතුමා බෞද්ධ පින්බිමක් ලෙස මේ රටේ පැවැත්මක් ඇත්තේ සත්‍ය සහ යුක්තිය සමග සාධාරණ සමාජයක් කරා යන ගමනකට පමණක් බව ද කියා සිටියේය.

දැනුම කේන්ද්‍රීය සමාජයක් ගොඩනැගීමේ අරමුණ පෙරදැරිව හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ පරිපාලන සහ කළමනාකරණ කටයුතු පහසුු කරනු වස් උතුරු මැද පළාත් සභාව විසින් රුපියල් ලක්ෂ 45 ක වියදමින් මෙම ගොඩනැඟිල්ල ඉදිකර තිබේ.

සමරු ඵලකය නිරාවරණය කර කලාප අධ්‍යාපන කාර්යාලය විවෘත කළ ජනාධිපතිතුමා එහි කාර්ය මණ්ඩලය සමග සුහද කථා බහක නිරත විය. කලාප අධ්‍යාපන කාර්යාලයේ නව වෙබ් අඩවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

මේ අතර මැදිරිගිරිය මීගස්වැව ප‍්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය ද අද පෙරවරුවේ ජනතා අයිතියට පැවරුණේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙනි. මීගස්වැව, වඩිගවැව, පතොක්වැව, සෙනරත්පුර, කුමුදුපුර සහ මයිලගස්හංදිය යන ප‍්‍රදේශවල පවුල් 3000 කට ආසන්න පිරිසකගේ සෞඛ්‍ය පහසුකම් පුළුල් කරමින් ඉදිකර ඇති මෙම වෛද්‍ය සත්කාර ඒකකය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 11 කට ආසන්නය.

සමරු ඵලකය නිරාවරණය කර වෛද්‍ය සත්කාර ඒකකය විවෘත කිරීම ජනාධිපතිතුමා අතින් සිදුවූ අතර එහි ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පළමු රෝගියා ලියාපදිංචි කිරීම සිදුවූයේ ද ජනාධිපතිතුමා අතිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *