ශ්‍රී ලංකන් කාර්ය මණ්ඩලය අනතුරක් වළක්වා ගනියි

(කොළඹ, ලංකාපුවත්) – සිදුවීමට ගිය දරුණු අනතුරක් වළක්වා ගැනීමට යූ එල් 166 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සමත්වී ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

ඉන්දියාවේ කෝචි සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ යානයේ සිටි මගියකුට අයත් ගමන් මල්ලක තිබූ ජංගම දුරකථනයක් හෝ ලිතියම් බැටරි ඇසුරුමක් ගිනිගැනීමක් හේතුවෙන් මෙම අනතුර සිදුවී තිබේ.

යානයේ සිටි මගීන් සිය සුපුරුදු ආකාරයෙන්ම සිටියදී යානයේ කාර්ය මණ්ඩලය තත්ත්වය පාලනය කිරීමට සමත්ව ඇත.

ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සදහන් කරනුයේ මේ සිද්ධියෙන් යානයේ සිටි මගීන් 202ක් අතුරින් කිසිවකුට හෝ එහි කාර්ය මණ්ඩලයේ කිසිවකුට කිසිදු අනතුරක් සිදුනොවී නියමිත වේලාවටම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟාවීමට හැකිවූ බවය.

මෙම තත්ත්වය පාලනය කරන තුරු යානයේ සිටි මගීන්ට අනතුරු සංඥා නිකුත් කර ඔවුන් ඉවත් කිරීමට හෝ හදිසි ගොඩබෑමක් සිදුකිරීමට අවශ්‍ය නොවූ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය සදහන් කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ශ්‍රී ලංකාවේ අදාළ බලධාරීන් විසින් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *