කස්තානය කෞතුකාගාරයට

(කොළඹ, ලංකාපුවත්) – ”තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග” යයි අප ජනවහරේ ඇති පිළිගැනුමකි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ වසරේ මාර්තු මස රුසියාවේ රාජ්‍ය චාරිකාවක යෙදුණු අවස්ථාවේදී ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් හමුවීමට ක්‍රෙම්ලිනයේ හරිත ශාලාවට පිවිසි විට එතුමාට ලැබුණේ බලාපොරොත්තු නොවූ සුවිශේෂ ත්‍යාගයකි. එනම් පුරාවිද්‍යාත්මක අගයකින් යුතු මහනුවර යුගයේ ප්‍රභූවරයෙකුගේ කැටයම් සහිත කස්තානයකි. මෙහි සුවිශේෂත්වය පුරාවස්තූන්ට දැඩි ඇල්මක් දක්වන ජනපති පුටින් එම වටිනා වස්තුව ජනපති සිරිසේනට තෑගි කිරීමට කළ තීරණයයි. එයින් රුසියානු ජනපතිතුමා තුළ අප ජනපති කෙරෙහි ඇති ප්‍රසාදය සහ පිළිගැනුම සංකේතවත් කෙරේග අද අගෝස්තු 02 ජනාධිපතිතුමා මෙය ජාතික කෞතුකාගාරයට ප්‍රදානය කිරීමට නියමිතය.

පෞරාණික ආයුධ පිළිබඳ විශේෂඥයෙකු වන ඊශ්‍රායල ජාතික ඇලෙක්ස් ෆර්ගර්ගේ මතයට අනුව මෙම කස්තානය මහනුවර රාජධානියට අයත් එකකි. මහනුවර ප්‍රභූහු ශ්‍රී ලංකාවේ දේශපාලන මෙන්ම ආගමික මෙහෙවර ද භාරව සිටියහ. පැරණි රජ මාළිගාවට යාබදව පිහිටි ශ්‍රී දළදා මාළිගාවෙහි ඉතාමත් පූජනීය ආගමික සංකේතය‍ක් ලෙස සැලකෙන බුදුන්ගේ දන්ත ධාතුව තැම්පත් කර ඇත.

මෙම කස්තානය 2006 දෙසැම්බර් 19 වනදා ලන්ඩනයේ සොත්බි වෙන්දේසි නිවසේදී රාජකීය සහ ප්‍රභූ භාණ්ඩ අංශයේ වෙන්දේසි කිරීමට ප්‍රදර්ශනය කර තිබුණි.

මෙම ඵෙතිහාසික කස්තානය ඉතාමත් දුර්ලභ ගණයේ රාජකීය ආයුධයක් පමණක් ලෙස නොව ඵෙතිහාසික වශයෙන් ද, විද්‍යාත්මක වශයෙන් ද අගයක් ඇති භාණ්ඩයකි. රුසියානු සමූහාණ්ඩුවේ පෞරාණික වස්තූන් රැස් කරන පුද්ගලික ධනවතුන් සහ ආයතන තුළ ද මෙවැනි අගයකින් යුත් වස්තූන් ඇත්තේ ඉතාමත් සීමිත වශයෙනි.
ඒ අනුව රුසියානු සමූහාණ්ඩුවේ අපරාධ නීති සංග්‍රහයේ 243 වගන්තිය ඇතුළත් පෞරාණික වටිනාකමකින් යුතු පුරාවස්තුන් හා සංස්කෘතික අගයෙන් යුතු වස්තූන්ට හානි කිරීම හෝ විනාශ කිරීම අපරාධයක් ලෙස සඳහන් වන අතර ඒ අනුව වස්තූන් ආරක්ෂා කිරීමේ වගන්තියට මෙම කස්තානය ද අයත් වේ.
1993 අප්‍රේල් 15 වනදා පනවන ලද සංස්කෘතික දේපළ අපනයනය හා ආනයන කොන්දේසියට පුරාවස්තු ද අයත් වේ.
රුසියානු සමූහාණ්ඩුවේ සංස්කෘතික අමාත්‍යංශයේ පුරාවිද්‍යා විශාරද පදවිය දරන ගුවන් යානා විද්‍යාව හා බැලැස්ටික් විද්‍යාව පිළිබඳ මොස්කව් තාක්ෂණ විද්‍යාලයේ මහාචාර්යවරයා කියන පරිදි මෙය නවන ලද තියුණු කඩු තලයක් සහිත කස්තානයකි. වානේවලින් නිෂ්පාදිත මෙහි කඩු මිටේ පිට කොටස රත්රන්වලින් නිපදවා ඇත. අතීතයේ දී මෙය සටන් සඳහා භාවිතා කළ කඩුවකි. කඩු මිට හොඳින් ඔප් නංවා ඇත.
කඩු මිට රන්වන් පැහැ ලෝහයකින් නිපදවා ඇති අතර එය උසස් මට්ටමේ නිර්මාණයකිග කඩු මිටේ ඉහළ කොටසින් මිථ්‍යා සත්ත්වයෙකුගේ අයාගත් මුඛ දිස්වේ. එහි සැලසුම් රටාව සිංහල සිංහ රූපය මෙනෙහි කරවයි. සිංහයාගේ ඇස් දීප්තිමත් තියුණු රතු පැහැයක් සහිත අර්ධ වශයෙන් විනිවිද පෙනෙන ලෙස නිමවා ඇත. එම අමුද්‍රව්‍යම මිටෙහි පසුපස ඉහළ කොටස සවිමත් කිරීම සඳහා භාවිතා කර ඇත. මිටෙහි රටාව සඳහා මල් සැරසිල්ලක් ද යොදා ඇත.
අත් ආරක්ෂණ වළල්ළේ නිර්මාණයට කැටයම් යොදා ඇති අතර එහි දිගම කොටස වක්‍රව උඩු අතට එනම් මිථ්‍යා සත්වයාගේ මුඛය දෙසට පවතින අතර එහි කුඩා ම කොටස යාන්තමින් උඩු අතට වක්‍රව පවති. කඩුවේ යටිකුරු ව පිහිටා ඇති කොටස් ද කඩුව යට කැටයම් කර ඇති කොටස් කඩුව දෙසට වටකුරු කර තිබෙන කොටස් ද මිටට ඇතුළත් වේ.
මෙම කඩුවේ මල් නිර්මාණ සහ මිථ්‍යා සත්ත්ව හිස කැටයම් කර ඇත. බෞද්ධ ප්‍රතිමා ශිල්පය ආරෝපණය පිළිබිඹු කරයි.
කඩු කොපුව පිටත ආවරණය කහ පැහැති ලෝහයකින් නිපදවා ඇති අතර ඇතුළත ලී තහඩුවකින් නිමවා තිබේ. කොපුව වටා මල් වැල් කැටයම් දක්නට ඇත. කස්තානය ඉතාමත් අනර්ග තත්වයේ පවතී. විශේෂඥ මතය අනුව මෙය 19 වන සියවසේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කස්තානයකි.
කස්තාන පළඳිනු ලබන්නේ ශ්‍රී ලංකාවේ සම්මානනීය ප්‍රභූ පැලැන්තිය විසිනි. ඊට පහළ පන්තියේ පුද්ගලයින් කස්තාන පැළඳීමට හෝ තබා ගැනීමට අවසර නැත. ඒ අනුව කස්තානය සමාජ තත්ත්වය පිළිබිඹු කරන ආභරණයක් ලෙස සැලකිය හැක.
”කස්තානය”
x නිෂ්පාදිත රට – ශ්‍රී ලංකාව
x යුගය – 19 වන සියවස
x ලෝහය – ගිනියම් කර තලා කලාත්මක කැටයම් සහිතව නිපදවා ඇති අතර එය රන් ආලේපිතය
x කඩුවේ දිග – 480.5 mm
x කඩුවේ පළල – 23.5 mm
x කඩු කොපුවේ දිග – 535.5 mm
x කඩු කොපුවේ පළල – 6.35 mm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *