බාකිර් මාකාර් අනුස්මරණ දේශනයට තුර්කියේ හිටපු අග්‍රාමාත්‍යවරයා දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – හිටපු කථානායක අල්හාජ් බාකීර් මාකාර් මහතාගේ 20 වැනි අනුස්මරණ දේශනය ලබන අගහරුවාදා (08)  කොළඹ දී පැවැත්වේ.

ජාතික එකමුතුව සදහා වන බාකීර් මාකාර් මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන මේ සමරු  දේශන මාලාව  දේශමාන්‍ය එම්. ඒ . බාකීර් මාකාර් මහතා අවංකවම ඇප කැපවි සිටි විවිධත්වය තුළ එකමුතුව දිරිගැන්විම හා ජාතික එකමුතුව නගාසිටුවීම  කෙරෙහි යොමුවෙයි.

එම්. ඒ බාකිර් මාකාර් මහතාගේ අභාවයෙන් පසු බාකිර් මාකාර් පවුලේ සමිපතමයන් විසින් ජාතික එකමුතුව සදහා බාකිර් මාකාර් මධ්‍යස්ථානය පිහිටුවාගන්නා ලදී . වර්ෂ 1997 දි පිහිටුවා ගන්නා ලද බාකිර් මාකාර් මධ්‍යස්ථානයයෙහි අරමුන වන්නේඑම්. ඒ බාකීර් මාකාර් මහතාගේ දර්ශනයට අනුව අන්තර් වාර්ගිය සුහදත්වයේද  ජනතාව අතර වාර්ගික හා ආගමික  සාමය හා සහජිවනයේද ජාතික එකමුතුවේද  උන්නතියට තුඩුදෙන ක්‍රියාකාරකම්  ප්‍රවර්ධනය , දිරිගැන්වීම නගා සිටුවීම හා ඒවාට අවශ්‍ය සහයෝගය දැක්වීමය.

මෙවර යෙදී ඇති 20 වැනි අනුස්මරණ දේශනය  තුර්කියේ හිටපු අගමැති  මහාචාර්ය අහමට් ඩවුටොග්ලු  විසින් “ සාමයට පදනමක් වශයෙන් බහුසංස්කෘතිකත්වය “ යන මැයෙන් පවත්වනු ලැබේ.

තුර්කියේ හිටපු විදේශ අමාත්‍යවරයකු ද වන මහාචාර්ය ඩවුටොග්ලු  ෆොරින් පොලිසි සගරාව විසින් 2010, 2011. සහ 2012 වර්ෂවලදී  ලෝකයේ ප්‍රමුඛතම නායකයන් 100 දෙනා අතරට තෝරාගන්නා ලදී.

ස්වකීය සංචාරයේදී මහාචාර්ය ඩවුටොග්ලු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිප දෙනකුම මුණගැසීමට නියමිත අතර  අදිල් බකීර් මාකාර් පදනම විසින් සංවිදානය කරනු ලබන  තරුණ සංවාදයකට ද සහභාගිවිමට නියමිතය.

ජාතික එකමුතුව සඳහා වන බාකීර් මාකාර් මධ්‍යස්ථානය විසින් සංවිධානය කැරෙන මේ දේශනය ආරාධිතයන් සඳහා  පමණි.

පසුබිම

තුර්කි විද්වතකු දේහපාලනඥයකු හා හා හිටපු තානාපතිවරයකුද වන මහාචාර්ය ඩවුටොග්ලු 2014 අගෝසතු සිට 2016 මැයි දක්වා තුර්කියේ අග්‍රාමාත්‍ය වරයා මෙන්ම  යුක්තිය හා සංවර්ධනය පක්ෂයේ (AKP)  නායකයා ද විය. 2009 සිට 2014 දක්වා එරට විදේශ අමාත්‍යවරයා වශයෙන් ද සේවය කළ ඔහු  2003 සිට 2009 දක්වා තුර්කි අගමැති රිසෙප්  ටයියාප් අර්ඩොගාන්  ගේ ප්‍රධාන උපදේශකවරයාද විය.2011 මහ මැතිවරණයට AKP  පක්ෂයෙන් කොන්යා අසුනට තරග කර ජයගත්තේය.ඉන්පසු 2015 ජුනි හා නොවැම්බර්  මැතිවරණවලින්ද ජයගත්තේය.2016 මැයි 22 වැනිදා හෙතෙම අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

වර්ෂ 1959 පෙබරවාරි 26 වැනිදා කොන්යා ප්‍රදේශයේ අපන් මහාචාර්ය ඩවුටොග්ලු  ඉස්තාන්බුල් උසස් විද්‍යාලයෙන්  ද්විතියික අධ්‍යාපනය හැදෑරීය. 1983 දී  බොස්පරස් සරසවියෙන්  දේශපාලන විද්‍යාව  හා ආර්ථික විද්‍යයාවෙන්  ද්විත්ව උපාදියක් ලැබුවේය.ඉන්පසු රාජ්‍ය පරිපාලන අංශයෙන් ශාස්ත්‍රපති උපාධියත් දේශපාලන විද්‍යාව හා ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දර්ශන සූරි උපාධියත් ලබාගත්තේය.

ඔහු ඉංග්‍රීසියෙන් හා තුර්කි බාෂාවෙන් විදෙස් ප්‍රතිපත්ති පිළිඳ ලිපි හා ග්‍රන්ථ කිහිපයක් පළකළ අතර ඒවා ජපන් පෘතුගිසි  රැසියානු  අරාබි  පර්සියානු  හා ඇල්බේනියානු භාෂාවලට පර්වර්තනය වි ඇත. සරේ ඩවුටොග්ලු මහත්මිය සමග විවාහවි සිටින ඔහු දරුවන් සිවු දෙනකුගේ පියෙකි. හෙතෙම ඉංග්‍රීසි ජර්මන් හා ආරාබි භාෂා වල ප්‍රවීණයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *