(කොළඹ, ලංකාපුවත්) – ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක විශාරද අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේ වෙත ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(03) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්රයේදී පැවැත්විණි.
අභිනව මහා නායක හිමිපාණන් වහන්සේ වෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විජිනිපත පිළිගන්වනු ලැබීය.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ උගත්, වියත් මෙන්ම සිල්වත් සංඝ පීතෘන්වහන්සේ නමක් වූ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමිපාණන් වහන්සේගේ චරිතය තරුණ භික්ෂු පරපුරට මහඟු ආදර්ශයක් බවයි.
එමෙන්ම උන්වහන්සේගේ ශාසනික සහ සමාජයීය සේවාව ද ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය.
අමරපුර පාර්ශ්වයේ අධිකරණ සංඝනායක ලෙසින් හා අනුනායක හා මහාලේඛකාධිකාරී ලෙසින් ද අමරපුර පාර්ශ්වයේ සම මහානායක ලෙසින් ද අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මාහිමිපාණන් වහන්සේ කටයුතු කළහ.
මහා නා හිමිවරුන් ප්රමුඛ මහා සංඝරත්නය ද, අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ඇතුළු පූජකවරුන් ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් මෙම පුණ්‍ය මහෝත්සවයට එක්ව සිටියහ.