කෝපායි සිද්ධියේ සැක 06ක් දැලේ – ‘ආවා’ කල්ලි ප්‍රධානියත් ඒ අතර

(කොළඹ, ලංකාපුවත්) –කෝපායි ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ආයුධවලින් පහර දී කැපුම් තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහි ප්‍රධාන සැකකරු ‘ආවා’ නමැති කල්ලිය මෙහෙයවන තැනැත්තා බවට තොරතුරු ලැබී ඇති බව පොලීසිය පැවසීය.

යාපනය කෝපායි ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනයේ තිරුණවේල් ප්‍රදේශයේ පදිංචි සත්‍යවේල් කාදන් නිශාන්තන් හෙවත් නිශා වික්ටර් යන අය මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුය. ‘ආවා’ නමැති කල්ලිය මෙහෙයවන මෙම පුද්ගලයා ඇතුලු සැකකරුවන් තුන් දෙනෙකු ඊයේ (07) උදෑසන පිටකොටුවේදී අත්අඩංගුවට ගෙන ඇත.

මට්ටක්කුලිය ප්‍රදේශයේදීත් එක් සැකකරුවෙකු පසුගියදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණි. තවත් සැකකරුවන් දෙදෙනෙකු යාපනය ප්‍රදේශයේදී ඊයේ පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් හය දෙනා පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිස්පතිවරයාගේ සෘජු අධීක්‍ෂණය යටතේ සිදුකෙරෙමින් පවති.

සැකකරුවන් සතුව තිබී කඩු දෙකක් ද මේ වන විට සොයාගෙන ඇති බව පොලීසිය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *