චීනයේ ප්‍රබල භූ කම්පනයක් – 13ක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – නිරිත දිග චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ සිදු වූ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයින් 13දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තවත් 175කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව එරට වාර්තා සදහන් කළේය.

ඔවුන්ගෙන් 28 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

ජීවිතක්ෂයට පත්වූවන් අතර සංචාරකයන් පස්දෙනෙකුද වනවා. එම භූකම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් පරිමාණ ඒකක 6.5ක් බව අමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ඒජන්සිය පෙන්වා දෙයි. එහි ගැඹුර කිලෝමීටර් 10ක් බව සදහන් ය.

මෙම කම්පනයෙන් නිවාස ලක්ෂයකට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇත. භූ කම්පනයෙන් අනතුරුව සංචාරකයන් 30,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ.

සිචුවාන් පලාත සංචාරකයන් බහුල වශයෙන් ගැවසෙන ප්‍රදේශයකි. එම ප්‍රදේශය නිරන්තරයෙන් භූ කම්පන වලට ගොදුරු වන බවද සඳහන් ය.

2008 වසරේදී එම ප්‍රදේශයේ හටගත් භූකම්පනයකින් පුද්ගලයින් 70,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *