ශ්‍රී ලංකාවේ බරම බිළිඳා – ලෝකයේ 11 වැනියා බලපිටියේදී උපත ලබයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකාවේ මෙතෙක් උපත ලද බරින් වැඩිම බිළිඳා ඊයේ (08) බලපිටියේදී උපත ලැබීය. පිරිමි දරුවෙකු වූ මෙම දරුවාගේ බර රාත්තල් 13.1 (කිලෝ 5.94) වන බවට ගණන් බලා තිබුණි.

මෙම බර ගිනස් ලෝක වාර්තා පොත අනුව එතෙක් මෙතෙක් උපත ලද බිළිඳුන්ගෙන් බර වැඩිම 11 දෙනා අතරට ගැනේ.

මින් ඉහත රාත්තල් 22 දරුවන් දෙදෙනෙකු අමෙරිකාවේ හා ඉතාලියේ ඉපදී ඇති බවට වාර්තා තිබෙන අතර රාත්තල් 19 එක් අයෙකු17 දෙදෙනෙකු 16 දරුවන් තිදෙනෙකු හා 15 දරුවන් දෙදෙනෙකු ඉපදී ඇත.

හොරවල හඹුරුගල නදීෂා නිල්මිණි නැමැති මවක මෙම දරුවා ලබන්නට වාසනාවන්ත වූවාය. ඇය 28 හැවිරිදි වියේ පසුවන්නියකි. මේ ඇගේ මුල්ම දරුවාය.

බලපිටිය මූලික රෝහලේ විශේෂඥ වෛද්‍ය කපිල විතානාච්චි හා වෛද්‍ය දමිත නලින් ප්‍රමුඛ වෛද්‍යවරුන් සිසේරියන් සැත්කමක් සිදු කොට මෙම දරුවා ලබාගත් අතර දරුවාගේ බර වැඩිබව මාස 6-7 යනවිටත් දැනගත් බවත් ඒ අනුව උපදෙස් දී සැලසුම් කර දරුවා ලබාගැනීමේ සැත්කම සාර්ථකව සිදු කළ බවත් ඔවුන්පැවසූහ.

මෙම සැත්කම සිය වෛද්‍ය ජීවිතයේ අමතක නොවන අත්දැකීමක් බවද වෛද්‍යවරුන් මේ පිළිබඳ අදහස් දක්වා සදහන් කර තිබේ. දරුවා මෙන්ම මවද මේ වනවිට හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *