තේ කර්මාන්තය නංවන්න ආයෝජකයන්ට අගමැතිගෙන් ආරාධනා

(කොළඹ, ලංකාපුවත්) –තේ කර්මාන්තය නගා සිටුවීමට මෙරට ආයෝජකයින් ඉදිරිපත් වන්නේ නැත්නම් විදේශ ආයෝජකයින්ට එම අවස්ථාව ලබාදීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වැඩි වන ලෝක ජනගහනයට සමගාමීව නව තාක්‍ෂණය යොදා ගනිමින් නව නිෂ්පාදන බිහි කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය. වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර එකසිය පනහක් සපිරීම වෙනුවෙන් පැවති සමුළුවට එක්වෙමිනි.

කොළඹ ජාත්‍යන්තර තේ සමුළුව ඊයේ (09) ආරම්භ වූ අතර එය හෙට(11) අවසන් වනවා. ඊයේ සමුළුව ආරම්භ වූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

“දෙදහස් පනහ වසරේ ජනගහන වර්ධනයට සමගාමීව නව තාක්‍ෂණය, නව ක්‍රමවේද මෙන්ම නව වෙළෙඳපොළක් ඉලක්ක කරගෙන ක්‍රියා කළ යුතුයි. අපට දීර්ඝ කාලීන සැලැස්මක් තියෙනවා. දෙදහස් පනහ වසරේ දී ලෝක ජනගහනය සැලකිය යුතු ලෙස වැඩි වෙනවා. ඒ වෙනකොට යුරෝපයේ බිලියනයක පමණ ජනගහන වර්ධනයක් සිදුවේවි. ඉන්දියාවේ සිට ඉන්දුනීසියා කලාපය දක්වා ජනගහන වර්ධනයක් සිදුවනවා. ඒ වගේම ඉන්දීය සාගරය අවට හා අප්‍රිකාවේ ජනගහනය අතිශයින් වැඩිවේවි. මේ තත්ත්වයට අපි හැඩගැහෙන්න ඕනෙ. අලුත් තාක්‍ෂණය යොදාගනිමින් නව නිෂ්පාදන සිදුකළ යුතුයි.” යනුවෙන් ද අගමැතිවරයා කියා සිටියේය.

මෙම අවස්ථාවට අමාත්‍ය නවීන් දිසානායක, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ යන මහත්වරුන් මෙන්ම දෙස් විදෙස් නියෝජිතයන් රැසක් සහභාගි වුහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × two =