ඉල්ලා අස් වුණේ ආඩම්බරෙන්- රවී පසු පෙළට යමින් කියයි

(කොළඹ, ලංකාපුවත්) – විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වෙයි.

අමාත්‍යවරයා අද (10) දහවල් 0130ට පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව කියා සිටියේය.

තමා මේ තනතුරෙන් සමුගන්නේ දුකෙන් හෝ කනගාටුවෙන් නොව බවත් ආඩම්බරයෙන් බවත් රවී කරුණා‍නායක මහතා පැවසීය.

සිය කතාවෙන් පසුව පසු පෙළ මන්ත්‍රීවරයකු ලෙස අසුන් ගත් හෙතම තමන් කිසිදු කම්පාවකින් තොරව එම තීරණය ගත් බව පාර්ලිමේන්තුවට කරුණානායක මහතා කියා සිටියේය.

ලලිත් ඇතුලත්මුදලි ඇසුරෙන් දේශපාලනයට තමන් සම්බන්ධ වූ බව කී හිටපු ඇමතිවරයා මගේ පක්ෂයේත් අනිත් පක්ෂවලත් අය මගේ නිවසට කන්න – බොන්න, පක්ෂ මාරු කරන්න ආ බවද පැවසීය.

“මම පක්ෂය වෙනුවෙන් අවුරුදු 32ක් වෙහෙසුණා….. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට එද්දි හංසයා ලකුණ දුන්නෙ මමයි….. මම තනතුරු පාවිච්චි කළේ සේවය කරන්නයි……. සම්හරු බලය නැති වුණාට පසුව යළි බලය වෙනුවෙන් ඕන දෙයක් කරනවා….. මම කිසිම දේකට වරදකරු නෙමේ…. මාධ්‍ය කුරුසියේ තබා මා ඇණ ගැසිය යුතු බව කියනවට මම සැලෙන්නේ නෑ…. ජනතාව ප්‍රතික්ෂේප කළ අය, අපරාධ කළ පලිගන්න හදනවා…” යැයි හෙතම එහිදී පැවසීය.

“මා සම්බන්ධව විවිධ ප්‍රවෘත්ති පළ කළා. විශ්වාස භංගයක් මට විරුද්ධව බාර දුන්නා.වගකිව යුතු ඇමැතිවරයෙක් ලෙස මගේ ස්ථාවරය ප්‍රකාශ කිරීම කරනවා. පදිංචි නිවස අලුත් වැඩියා කරන නිසා වෙනත් නිවසක් සෙව්වා. මට නිල නිවසක් තිබුණේ නෑ.අපේ පවුලේ සමාගමක් විසින් නිවස ලබාගත්තා. සියලු ගෙවීම් ගිණුම් ගත වී තිබෙනවා. සැගවීමට කිසිවක් නෑ. මම දේශපාලනයට පිවිසුණේ ලලිත් ඇතුළත්මුදලි මහතා සමඟ. එතුමාටත් චෝදනා කළා. එතුමා ඇසුර නිසා සාර්ථක වුණා. දේශපාලනයෙන් මුදල් හම්බ කර නෑ. බත්තරමුල්ල නිවසට ඇවිත් තිබෙනවා. මගේ වත්කම් ගැන දන්නවා. නීතිවිරෝධි මුදල් හම්බ කර නෑ. ඉස්සර ඇමැතිවරයෙක් තියා ගෑවුන කෙනෙක්වත් කොමිෂමකට ඇවිත් නෑ.අපි එහෙම නොවේ යුක්තියට හිස නවනවා. බැදුම් කරයට සාක්ෂි දෙමින් පෙන්වූයේ නව දේශපාලන සංස්කෘතියයි.බැදුම්කර කොමිෂමේ දී මගෙන් ප්‍රශ්න කළ ආකාරය  ගැන විනිසුරන් මැදිහත් වුණා. අපක්ෂපාති ලෙස කටයුතු කර සත්‍ය සොයාගන්නා බව විශ්වාසයි.

ඇමැතිවරුන්ගේ ආවේගශීලි ලෙස ප්‍රශ්න කරන්න අද නිදහසක් තිබෙනවා. පිටු 8803ක් කෙටි කාලයකින් විමර්ශනය කරන්නට හැකි වුණා. එය යහපත් ලක්ෂණයක්. යහපාලනය රජය පනත් ඒ ආකාරයෙන්ම කටයුතු කරන්න. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය පරික්ෂා කර තිබෙන පයිල් වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව කඩිනම් පරීක්ෂණ කරන්න. මට බොරු චෝදනා කළා. විදේශ විනිමය චෝදනාවෙන් මාව නිදහස් වුණා.ඒ කාලයේ දේශපාලනය වශයෙන් පළි ගත් අය දැන් චරිත ඝාතනය කළා.මම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මගේ කාර්යභාරය ඉටු කළා. පක්ෂයේ නායකතුමා ආරක්ෂා කළා. එතැනදි මගේ පෞද්ගලීකත්වය නොව පක්ෂය ගැන හා රට ගැන හිතනවා.ජනාධිපතිවරණයට හංසයා ලාංඡනය දුන්නේ මමයි. ආමාත්‍යධූරය භාවිතා කළේ ජනතා සේවයට රට වෙනුවෙන් සේවය කරන්නයි. මම තනතුරු භාවිතා කළේ, බලය භුක්ති විදීමට නොවේ. සදාකාලිකවන්නේ කළ සේවයයි. අවංක කමයි. බලය ලබාගැනීමට ඕනෑම බාල වැඩක් කරනවා. ජනවාරි 08 විප්ලවයක් කළා. මට එල්ල වූ චෝදනාවලට කිසිම පදනමක් නෑ.මම සැලැන්නේ නෑ.මෙවැනි අභෝගවලට මුහුණදීමට ශක්තිය තිබෙනවා. යහපාලන රජය අස්ථාවර කරන්න කුමන්ත්‍රණයක යෙදෙන බව පේනවා.

ජනතාව ප්‍රතික්ෂේප කළ අය,අපරාධ කළ අය මේ පිටුපස සිටිනවා. යළි බලය ලබාගැනීමට උත්සහ කරනවා. කුමන්ත්‍රණකරුවන්ට එක්සත් ජාතික පක්ෂය,යහපාලන රජය බිද දමන්න ඉඩ දෙන්නේ නැහැ.මුළු රටට ආදර්ශයක් දෙමින් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරනවා. ඉතිහාසය මට හිමිතැන ලබාදේවී.තනතුරට කැප කරන්නේ පක්ෂයට ආදාරය කරන සියලු සියලු දෙනා වෙනුවෙන් තනතුර කැප කරන්නේ රජයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන්. ඒ ගැන මම සතුටු වෙනවා. මගේ පවුලේ අයට පහර ගහනවා.” යනුවෙන් ද රවී කරුණානායක මහතා කියා සිටියේය.

ආන්දෝලනාත්මක මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බැණනුවන් වන අර්ජුන් ඇලෝෂියස් සමග පැවැත්වූ ගනුදෙනු සම්බන්ධයෙන් ඇමතිවරයා චෝදනාවට ලක් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *