විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ සහායෙන් තේ කර්මාන්තය නව ඉසව්වකට

(කොළඹ, ලංකාපුවත්) – ශ‍්‍රී ලංකාවේ තුළ තේ වගාවේ ආරම්භය සනිටුහන් වන්නේ 1867 වසරේ ජේම්ස් ටේලර් නම් ඉංගී‍්‍රසි ජාතිකයා විසින් නුවර හේවාහැට ලූල්කදුර වතු යායේ අක්කර 19 ක භූමි ප‍්‍රදේශයක් තුළ තේ වගා කිරීමත් සමගය. 2017 වසර වන විට වසර 150 ක දීර්ඝ ගමනක් සම්පූර්ණ කරන තේ වගාව ලංකාව තුළ උඩරටට පමණක් නොව පහතරට භූමි ප‍්‍රදේශ ද ආවරණය කරමින් හෙක්ටයාර 120,000 ක පමණ භූමි ප‍්‍රමාණයක ව්‍යාප්තව පවතී.

තේ වගාවට විද්‍යාත්මක මග පෙන්වීමක් ලබාදීම පිණිස 1925 වසරේ ආචාර්ය පෙච් මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය පිහිටවුන ලබන අතර එතැන් පටන් මේ දක්වා ලංකාව තුළ තේ වගාවේ දියුණුව සදහා ඔවුන්ගෙන් ඉටුවන මෙහෙවර අතිවිශාලය

තේ වගාවට වසර 150 ක් සපිරෙන මේ වසරේ තව දුරටත් තේ වගාවේ දියුණුව අරමුණු කර ගනිමින් ශ‍්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය, ශ‍්‍රී ලංකා තේ මණ්ඩලය, ශ‍්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය සහ කොළඹ තේ වෙළෙන්දන්ගේ සංගමය ඇතුළු ආයතන කිහිපයක ප‍්‍රධානත්වයෙන් අගෝස්තු මස 12-13 යන දෙදින තුළ අන්තර්ජාතික සමුළුවක් පැවැත්වීමට නියමිතව ඇත. මේ සදහා චීනය, කොරියාව ජපානය ඇතුළු ලෝකයේ විවිධ රටවලින් විද්‍යාඥයන් රැසක් සහභාගි වීමට නියමිතව ඇති අතර එහිදී තේ වගාව සහ තේ කර්මාන්තය පිළබදව නවතම පර්යේෂණ තොරතුරු රැසක් එළිදක්වනු ඇත. මෙහිදී නවතම තේ වර්ග තේ සම්බන්ධව සෞඛ්‍යමය වැදගත්කම මෙන්ම තේ ආශ‍්‍රිත නිපදවනු ලබන නොයෙකුත් නිෂ්පාදන පිළිබදව විශේෂ අවධානය යොමු වේ.

මෙම සමුළුවේ විශේෂ අංගයක් ලෙස 13 වෙනි දින කොරියානු නියෝජිතයන් විසින් තේ සංස්කෘතික රංගනයක් ඉදිරිපත් කිරීමට නියමිත අතර එතැන් පටන් තේ කලාවක් ලෙස අර්ථවත් වෙමින් වෙනත් විද්වතුන් විසින් විවිධ සමාලෝචන ඉදිරිපත් කරනු ඇත

මෙම උළෙලේ සමාරම්භය 12 වන දින උදෑසන 9.00 ට පාර්ලිමේන්තු සභානායක ,උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, විද්‍යා තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා සහ වැවිළි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *