දළදා මාළිගයේ රන් වියන ප්‍රතිසංස්කරණය කරන බව අගමැති පවසයි

(කොළඹ, ලංකාපුවත්) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයට ගොස් ඊයේ(13) ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබා ගත්තේය. අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් සපිරීම නිමිත්තෙන් ආගමික වැඩසටහන් පැවැත්වුණි.

ශ්‍රී දළදා මාලිගය වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිගනු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාය. අනතුරුව අග්‍රාමාත්‍යවරයා දළදා සමිදුන් වැදපුදාගෙන මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගත් අතර දළදා මාලිගයේ දහවල් දානමය පින්කම පැවැත්වුණේ ද අග්‍රාමාත්‍යවරයාගේ සහභාගිත්වයෙනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ ශ්‍රී දළදා මාලිගයේ රන්වියන ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බවයි.

දළදා මාලිග පරිශ්‍රයේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය නැරඹීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්විය. මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ , අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක , මලික් සමරවික්‍රම , පාර්ලිමේන්තු මන්ත්‍රි රවී කරුණානායක යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනතුරුව ජනතාව වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා ඔවුන් සමග සුහද කතාබහක ද නිරත වුණා.

මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40ක් සපිරීම නිමිත්තෙන් මහනුවර මීරා මක්කම් ඉස්ලාම් දේවස්ථානයේ ද ආගමික වැඩසටහන් පැවැත්වුණි. ජනාධිපතිතුමාට , අග්‍රාමාත්‍යවරයාට මෙන්ම රටට සෙත්පතා විශේෂ ආගමික වතාවත් හා යාඥා කිරීම මෙහිදී සිදුකෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine − 1 =