බෝගම්බර ජාතික කෞතුකාගාරයක් කරන්නැයි අස්ගිරි – මල්වතු මහානායක හිමිවරු ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) – ඓතිහාසික බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය කන්ද උඩරට උරුමය විදහා දක්වන ජාතික කෞතුකාගාරයක් හා සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධන කිරීමට පියවර ගන්නැයි අස්ගිරි – මල්වතු මහා නිකායන් දෙකෙහි මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලා දෙපොල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරති.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ සහ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ අස්සනින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ ඉල්ලීම කොට තිබේ.
ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ මෙසේද සඳහන් වේ.

වර්ෂ 1815 මාර්තු මස 2 වන දින උඩරට ගිවිසුමෙන් සිය පාලන බලය තහවුරු කරගත් ඉංග්‍රීසීහු උඩරට ජනතාව අනේකවිධ අසාධාරණයන්ට ලක් කළහ. එකී අසාධාරණයන් මඟහරවා කන්ද උඩරට උරුමය සුරක්ෂිත කොට දීමේ අරමුණෙන් අප විසින් මීට ප්‍රථමයෙන් කරන ලද ඉල්ලීමට ද අවධානය යොමු කරමින් කන්ද උඩරට උරුමය සුරැකීමේ අමාත්‍යංශයක් අමාත්‍ය එස්.බී. දිසානායක මහතා යටතේ ස්ථාපනය කිරීමට පියවර ගැනීම පිළිබඳව ඔබතුමන්ට අපගේ කෘතඥතා පූර්වක ස්තූතිය පළමුව පළ කර සිටිමු.

මෙම නව අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක විය යුතු සංවර්ධන ව්‍යාපෘති සැලැස්මක් ප්‍රදේශයේ විද්වත් පිරිස සමඟ සාකච්ඡා කොට සම්පාදනය කර ඔබතුමන් වෙත යොමු කරන ලද කාරණාවන්ගෙන් මූලික කරුණක් වන්නේ ඓතිහාසික බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය කන්ද උඩරට උරුමය විදහා දක්වන ජාතික කෞතුකාගාරයක් හා සංස්කෘතික මධ්‍යස්ථානයක් වශයෙන් සංවර්ධනය කිරීමයි. එහෙත් බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය සිංගප්පූරුව වැනි නගරයකට ගැළපෙන වාණිජමය ආයෝජන කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට ගන්නා උත්සාහයක් පිළිබඳව අපට කරුණු දැනගන්නට ලැබී ඇත. මෙකී වැඩපිළිවෙළ අපට කිසිසේත් අනුමත කළ නොහැක.

වර්ෂ 2017 අප්‍රේල් 5 වන දින අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව අප සහ අනෙකුත් විද්වත් පාර්ශවයන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බවට නිර්දේශ වී ඇත්තේ වී නමුත් දැනට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලබනුයේ එම වැඩපිළිවෙළ නොවන බව දක්නා ලැබේ. එහෙයින් පහත දැක්වෙන කරුණු කෙරෙහි ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

ඔබතුමා විසින් කන්ද උඩරට උරුමය ආරක්ෂා කිරීම සඳහා වෙනම අමාත්‍යාංශයක් අරඹා ඇති‍ හෙයින් බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය කන්ද උඩරට උරුමය විදහා දැක්වෙන කෞතුකාගාරයක් හා සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ වගකීම ද කන්ද උඩරට උරුමය සුරැකීමේ අමාත්‍යාංශයටම පැවරීම වඩාත් යහපත් වේ යැයි අපගේ හැඟීමයි.

දැනට කිසියම් පාර්ශ්වයක් විසින් සැලසුම් කොට ඇති නිර්මාණ සැලැස්ම ඓතිහාසික සෙංකඩගලපුර ගෘහනිර්මාණ ශිල්පයට හෝ කන්ද උඩරටට ආවේණික කලා නිර්මාණයන්ට හෝ නොගැළපෙන බව පෙනී යන හෙයින් අප විසින් මීට ප්‍රථම ඉදිරිපත් කරන ලද සැලස්මට අනුකූල වන සේ ව්‍යාපෘති සැලැස්මක් කන්ද උඩරට උරුමය සුරැකීමේ අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කිරීම වඩා යහපත්ය.

එසේම මේ සඳහා ඇස්තමේන්තුගත වියදම් කන්ද උඩරට සුරැකීමේ අමාත්‍යාංශය යටතේ වෙන් කරවා දීම වඩාත් සුදුසු වේ.

මිනුම් සැලැස්මේ ඇති අංක 03 දරන ඉඩම් කොටස සංවර්ධනය කිරීම පිණිස නාගරික සංවර්ධන අධිකාරියට හෝ ආයෝජන මණ්ඩලයට පැවරීම කෙරෙහි අප‍ගේ විරුද්ධත්වයක් නොමැත.
ඓතිහාසික බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය සංවර්ධනය කිරීමේ කටයුතුවල දී අප හා අදාළ විද්වත් පිරිස සමඟ සාකච්ඡා කොට ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ද කාරුණිකව සිහිපත් කරමු. ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ හා ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදය නොමඳව ලැබේවායි ආශිංසනය කර සිටුම්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − eleven =