පළාත් මට්ටමින් කසළ කළමනාකරණයට ජනපතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – රටේ කැළි කසළ ගැටලුව සඳහා ලබන වසර වන විට ස්ථීරසාර විසඳුමක් ලබාදීම රජයේ අරමුණ වන අතර ඒ සමග අනුගත වෙමින් මෙම දෙසැම්බර් මාසය වන විට දිවයිනේ පළාත් 09 තුළම කසළ කළමනාකරණය සඳහා වූ නිසි වැඩපිළිවෙළ කි‍්‍රයාවට නංවා අවසන් කළයුතු බවට ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

පළාත් පාලන ආයතනවල කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දෙනු ලැබීය.

කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශයන්හි කසළ බැහැර කිරීමේ වර්තමාන ප‍්‍රගතිය පිළිබඳ මෙහිදී ජනාධිපතිතුමා නිලධාරින්ගෙන් කරුණු විමසූ අතර පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන යටතේ පළාත් පාලන ආයතනවල කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

පැල්පත් සහිත ප‍්‍රදේශවල කසළ කළමනාකරණය විධිමත් අයුරින් සිදු නොවීම හේතුවෙන් මතුව ඇති ගැටලු පිළිබඳවත්, කසළ කළමනාකරණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ ප‍්‍රචාරාත්මක වැඩසටහන් තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් විය.

කසළ කළමනාකරණය සඳහා වන මාර්ගෝපදේශ අනුව කටයුතු කිරීමේදී පළාත් පාලන ආයතනවල වර්තමාන ප‍්‍රගතිය සහ ගැටලු පිළිබඳවද සාකච්ඡා කෙරෙණු අතර අවශ්‍ය උපකරණ සහ රථ වාහන ලබාගැනීමේ කටයුතුවල ප‍්‍රගතිය ද විමසා බැලිණි.

පාසල් තුළ කසළ කළමනාකරණය සහ පොලිතින් භාවිතය අවම කිරීමේ වැඩපිළිවෙළ මෙන්ම පොලිතින් සහ ප්ලාස්ටික් භාවිතය අවම කිරීම පිළිබඳ අමාත්‍ය මණ්ඩල නිර්දේශ කි‍්‍රයාත්මක වීම පිළිබඳව ද කරුණු සාකච්ඡා විය.

කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල පවතින අපිරිසිදු වී ඇති ඇළ මාර්ග යථා පරිදි පවත්වා ගැනීමට දිගුකාලීන වැඩපිළිවෙළක් සැකසීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, ගයන්ත කරුණාතිලක, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, සරත් ෆොන්සේකා, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය යන මැති ඇමතිවරුන් ද, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරින් ද පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *