ක්‍රිකට් සභාපති වහාම අස්කළ යුතුයි – ඇමති අර්ජුන

(කොළඹ, ලංකාපුවත්) – දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවලින් දරුණු ලෙස පරාජය වීම හේතුවෙන් ක්‍රිකට් සභාපති එම ධුරයෙන් වහාම ඉවත් කළ යුතු බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඉදිරියේදීවත් තරග ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම් ක්‍රිකට් පරිපාලනයට සුදුසු පුද්ගලයින් පත් කළ යුතු බවද ඔහු අවධාරණය කරයි. ඔහු මේබව කියා සිටියේ අද (15) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සභාගි වී පිටතට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

“විශේෂයෙන්ම මේ කාලය ක්‍රිකට් ක්‍රීඩාවේ නරකම කාලයක්. වැරදි පුද්ගලයෝ ක්‍රිකට් පරිපාලනය කරන විට අපේ රටේ ක්‍රිකට් මේ තත්ත්වයට යනවා කියලා මම අවුරුදු දෙකක් තිස්සේ කිව්වා. මේ තරග පරාජයට ක්‍රීඩකයින්ට විතරක්ම දොස් කියන්න බැහැ. අද අපේ ක්‍රීඩකයෝ මානසිකව වැටිලා. අපි ක්‍රීඩකයින්ගේ මනස සෑදිය යුතුයි. ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු හරිද කියලා බලන්නත් ඕන. ක්‍රිකට් සංස්කෘතිය උගන්වන්න ඕන. නමුත් මේ රේස් ඔට්ටුකාරයොත් එක්ක මේ ක්‍රීඩාව කරන්න ගියාම ඒ කිසිවක් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ.

මට මතකයි ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිතුමා කිව්වා රවී කරුණානායක ඇමැතිතුමා ඉල්ලා අස් වෙන්න ඕන කියලා. නමුත් ඊට කලින් අස් කරන්න ඕන එවැනි කථා කියන ඒ අයමයි. අද ක්‍රිකට් පරිපාලනය ඉතාම දුර්වල තත්ත්වයකට පත් වෙලා. තරග පරිදිනවා. ඒ නිසා ක්‍රීඩා ඇමැතිතුමා ඉස්සෙල්ලාම කරන්න ඕන ක්‍රිකට් පරිපාලනය වෙනස් කිරීම. හරි පුද්ගලයින් අතට ක්‍රිකට් පරිපාලනය භාරදීම. නැත්නම් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියේදී නරකම තත්ත්වයටම යනවා. විශේෂයෙන්ම මේ ආණ්ඩුව ආවට පස්සේ අමාත්‍යවරුන් දෙදෙනෙක් ඉල්ලා අස්වුණා. ඒ වැරදිකරුවෝ වෙලා නෙමයි. චෝදනා එල්ල වුණා කියලා. චෝදනා ඔප්පු කරන්නෙත් නැතිව ඉල්ලා අස්වුණා. නමුත් අද අපිට ක්‍රිකට් ක්‍රීඩාව අගාධයටම වැටිලා. ඒක කරුණු සහිතව ඔප්පු වෙනවා. ඒනිසා තවදුරටත් ක්‍රිකට් සභාපති සභාපති ධුරයේ තබා ගැනීම වැදගත් වෙන්නෙම නැහැ.

අද කොණ්දක් තියෙන පරිපාලනයක් නැහැ. අද කොන්දක් තියෙන තේරීම් කමිටුවක් නැහැ. අද ඒගොල්ලන්ට ඕන ඕන ජනප්‍රිය තීරණ ගන්නවා. රටක ජනප්‍රිය තීරණ අරගෙන බැහැ. අපේ ආණ්ඩුවත් ජනප්‍රිය තීරණ අරගන්න ගිහිල්ලා නැතිවෙලා තියෙනවා. අපි ගන්න ඕන රටට අවශ්‍ය තීරණ. ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය තීරණ. අපි යහපාලන ආණ්ඩුවක් හදලා තියෙනවා. ආණ්ඩුවේ හිටියට ආණ්ඩුව වැරදි නම් අපි විවේචනය කරනවා. ආණ්ඩුව විවේචනය කරන්න ආණ්ඩුවෙන් අස් වෙන්න ඕනේ නැහැ. ආණ්ඩුවේ වැරදි දේවල් තියෙනවා නම් ආණ්ඩුව විවේචනය කිරීමේ හයිය අපිට තියෙනවා. මොකද මේ ආණ්ඩුව හැදුවේ ඔය සූදුකාරයෝ නෙමෙයි. ආණ්ඩුව හැදුවේ අපි. ඉතිං ආණුවේ වැරදි වෙනවා නම් අපි දැන ගන්න ඕන ජනාධිපතිතුමායි අගමැතිතුමායි එක්ක ඒවා ගැන කථා කරන්න. නැත්නම් මහජනතාවට මේවා තේරුම් කරලා දෙන්න ඕන….” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *