මෝටර් වාහන පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

(කොළඹ, ලංකාපුවත්) – මෝටර් වාහන පනතේ වගන්ති කිහිපයක් හා දෙවන උපලේඛනය සංශෝධනය කිරීම සඳහා අදාළ පනත් කෙටුම්පත, රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

අද(16) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව කියා සිටියේය.

දිනෙන් දින ඉහළ යන රථවාහන අනතුරු අවම කර ගනිමින් මගී ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගැනීමේ අරමුණින් මෙම සිදු කරනු ලබන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ඒ අනුව යෝජිත රියැදුරු අවාසි සහගත ලකුණු ක්‍රමවේදය, ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ බලතල, මහේස්ත්‍රාත්වරුන් හා පොලිස් නිලධාරීන් වෙත පැවරීම, අන්තරාදායක රසායන ද්‍රව්‍ය ප්‍රවාහනය කරනු ලබන වාහන, හදිසි සේවා වාහන හා පොදු සේවා වාහන ධාවනය කරනු ලබන රියැදුරන් සතු විය යුතු විශේෂ සුදුසුකම් ප්‍රකාශයට පත් කිරීම, මෝටර් වාහන සඳහා අදාළ වේග සීමා නියාමනය, ස්ථානීය දඩ මුදල් සදහා විද්‍යුත් තාක්ෂණික ක්‍රම හඳුන්වා දීම, ආබාධ සහිත තැනැත්තන් විසින් භාවිතා කරනු ලබන වාහන ඇතුළු විශේෂිත වාහන වර්ග ලියා පදිංචි කිරීම සඳහා නව වාහන පංති හඳුන්වා දීම හා මෝටර් වාහන පනතේ ප්‍රකාශිත දඬුවම දක්වා නොමැති යම් වරදක් සඳහා අදාළ කර ගනු ලබන පොදු දණ්ඩනය සංශෝධනය ආදී කරුණු රැසක් මෙහි අන්තර්ගත වේ.

මෙම යෝජනාව සිවිල් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

13 − nine =