“බටහිර කසළ විදුලියට” ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තබයි

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ දිස්ති‍්‍රක්කයේ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය වඩා විධිමත් කරනු වස් කරදියාන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය “මිහිසරු වියමන සම්පත් කළමනාකරණ මධ්‍යස්ථානය” වශයෙන් නම් කිරීම සහ අපද්‍රව්‍ය මගින් විදුලිය ජනනය කිරීමේ “බටහිර කසළ විදුලියට” ව්‍යාපෘතිය සඳහා මුල් ගල් තැබීම අද (17) පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු විය.

“පුනරුදය” පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහනට අනුව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මගින් හඳුන්වාදී ඇති මහාපරිමාණ පොදු අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති ස්ථාපනය කිරීමේ සංකල්පය මල් ඵල ගන්වමින් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ සහයෝගයෙන් ෆෙයාවේ වෙස්ට් මැනේජ්මන්ට් පුද්ගලික සමාගම විසින් මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාවට නංවනු ලබයි.

කරදියාන කසළ කළමනාකරණ අංගණයට දිනකට එක්වන කසළ ප‍්‍රමාණය ඉතා විශාල වන අතර මෙම ව්‍යාපෘතිය සමග ඉන් මෙටි‍්‍රක් ටොන් 500ක ප‍්‍රමාණයක් බලශක්තිය බවට පරිවර්තනය කිරීමේ හැකියාව උදා වේ.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය මගින් උත්පාදනය කරන විදුලිය නිවාස 37,500ක ට ප‍්‍රමාණවත් වන අතර මෙමගින් විදුලියට අමතරව කාබනික පොහොර නිෂ්පාදනය ද සිදුකෙරේ.

මෙම කි‍්‍රයාවලිය මගින් පරිසරයට බැහැර කෙරෙන අපද්‍රව්‍ය ප‍්‍රමාණය සියයට 90කින් පහළ බසින අතර කුණු කසළ බැහැර කිරීම හරහා ඇති වී තිබෙන පාරිසරික සහ සමාජමය ගැටලුවට ද තිරසාර විසඳුමක් හිමිවනු ඇත.

අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 1 =