මාර්ගයේ මැද තීරුව භාවිතයෙන් ශීඝ්‍රගාමී බස් සේවයක් ඉදිරියේදී

(කොළඹ, ලංකාපුවත්) – මාර්ගයේ මැද තීරුව භාවිත කරමින් විධිමත් ශීඝ්‍රගාමී බස්රථ සේවයක් ඇති කිරීම සඳහා තමන් රජයට යෝජනා කර ඇතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

මාර්ග සංවර්ධන අධිකාරිය සමග එක්වී ඉදිරියේදී එය කි‍්‍රයාත්මක කරන බවත්,මෙම වැඩපිළිවෙළේදී මාර්ගවල ව්‍යුහාත්මක වෙනසක් සිදුකිරීමසඳහා විශාල මුදලක් වැය වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රණවක මහතා මේ බව පැවසුවේ, ඊයේ (16) බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ශ‍්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

ප්‍රමුඛතා මංතීරු ක‍්‍රමය හේතුවෙන් රියදුරන් තුළ විනයක් සහ හික්මීමක් ඇතිවී පොදු ප්‍රවාහනය භාවිත කරන සාමාන්‍ය ජනතාවට සහ වැඩකරන ජනතාවට පහසුවක් දැනී ඇති බවත්,මාර්ග විනය විධිමත් වීමෙන් පෞද්ගලික වාහන භාවිත කරන්නන්ට රථ වාහන පහසුවෙන් ධාවනය කිරීමට හැකිවී තිබෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ප්‍රමුඛතා මංතීරු ක‍්‍රමයේදෙවැනි පියවර ලබන 22 වෙනිදා සිට කටුබැද්ද මංසන්ධියේ සිට මැලිබන් මංසන්ධිය දක්වාත්, බම්බලපිටිය මංසන්ධියේ සිට පිත්තල මංසන්ධිය දක්වාත් කි‍්‍රයාත්මක කරන බවත්,එමගින් ගාලු පාරේ යම් ප්‍රගතියක් ඇති කරගැනීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *