උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍ර සිද්ධියට දෙදෙනෙක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – මෙවර 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ ප්‍රශ්න කිහිපයක් උපකාරක පංති ගුරුවරයෙකු විසින් අත්පත්‍රිකා බෙදාහැරීම සම්බන්ධ සිද්ධියට අදාළව අදාළ ගුරුවරයාගේ පියා හා සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියට අදාළ ගුරුවරයා මේ වන විට අතුරුදන්ව ඇති බවද සඳහන්ය.

ගම්පහ පොලීසිය විසින්අද(21) අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකාර පුද්ගලික පංති ගුරුවරයාගේ පියා සහ සහෝදරයා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

ඒ අනුව කදාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 67ක පුද්ගලයෙකු සහ ඔහුගේ වයස අවුරුදු 29ක්වන පුතා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර ගුරුවරයා විසින් ඔහුගේ ටැබ් පරිඝණක යන්ත්‍රයෙන් අදාළ අත් පත්‍රිකාව මුද්‍රණය සඳහා සිය සහෝදරයා වෙත යොමු කර තිබේ.

විභාගය අවසන් වී පිටතට පැමිණෙන සිසුන්ට ප්‍රශ්න පත්‍රයේ අඩංගු ප්‍රශ්න කොටස් ඇතුළත් කර අත් පත්‍රිකා බෙදීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි ඉදිරිපත් වී තිබුණි.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ ප්‍රශ්න කිහිපයක් උපකාරක පංති ගුරුවරයෙකු විසින් අත්පත්‍රිකා බෙදාහැරීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

මේ සම්බන්ධව සහකාර විභාග කොමසාරිස්වරයා විසින් පොලිස්පති සහන මැදිරියට කරනලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

(19) දින පැවති රසායන විද්‍ය ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසේ ප්‍රශ්න කිහිපයක් තම සම්මන්ත්‍රණයකදී සාකච්ඡාවට ලක් කළ බව පවසමින් උපකාර පංති ගුරුවරයෙකු ගම්පහ ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයක් ඉදිරිපිට අත්පත්‍රිකා බෙදාහැරීමක් සිදුකර තිබුණි.

එය නීති විරෝධී කටයුත්තක් වන අතර ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලින් අනතුරුව ප්‍රකාශයක් නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

අද දින අත්අඩංගුවට ගත් දෙදෙනා සතුව තිබූ සිසුන්ට බෙදා හරින ලද ප්‍රශ්ණ පත්‍රයේ ප්‍රශ්ණ ඇතුලත් අත්පත්‍රිකාව අඩංගු ටැබ් යන්ත්‍රයක් සො‍යාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

10 − seven =