උසස් පෙළ විද්‍යාව ප්‍රශ්න විභාගයට පෙර පිටවී නැහැ – පොලිස් පරික්ෂණවලින් හෙළිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසින් උපුටා ගෙන අත්පත්‍රිකාවට ඇතුළත් කර තිබූ ප්‍රශ්න විභාගය ආරම්භයට පෙර පිටවී නෙමැති බව මූලික පොලිස් විමර්ශනවලදී හෙළිව ඇතැයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එසේම විභාගයේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් ඇති කරගත යුතු නැතැයි ද විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කර ඇත.

අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය. . . .

ගම්පහ ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු යැයි පැවසූ පුද්ගලයකු විසින් බෙදා හරින ලද අත් පත්‍රිකාවේ අඩංගු මෙවර රසායන විද්‍යාව ii ප්‍රශ්න පත්‍රයට ඇතුළත් ප්‍රශ්න කිහිපයක් පිට කර ඇත්තේ විභාගය පැවැත්වෙන කාල සීමාවේදීම බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව එම ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිට වී ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍යය බව පැහැදිලිවන අතර විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා පවසන්නේ විභාගයේ විශ්වසනීයත්වය සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් ඇති කරගත යුතු නැති බවයි. විභාගය පැවැත්වුණු දින උදෑසන විභාගය ආරම්භ වූ පසු විභාග ශාලාවේ සිටි පුද්ගලයෙකු හරහා ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න කිහිපයක් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට සිදුකල මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඉන් අනතුරුව සැලසුම් සහගතව තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු සම්බන්ධ කරගනිමින් සකස් කරගත් අදාළ ප්‍රශ්න ද ඇතුළත් අත් පත්‍රිකාව විභාගය පැවැත්වෙන කාල සීමාවේදීම මුද්‍රණය කර ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අදාල උපකාරක පන්ති ගුරුවරයෙකු බව පැවසූ පුද්ගලයාගේ පියා සහ සොයුරෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, තම පටු ලාභ අරමුණු වෙනුවෙන් මෙවැනි ක්‍රියා සිදු කරමින් දරුවන් මෙන්ම විභාග දෙපාර්තමේන්තුවද අපහසුතාවයට පත්කරන මෙවැනි පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන් පිළිකුලෙන් යුතුව හෙළාදකින බව සඳහන් කළා.

පසුගිය කාලයේ සිදුවූ විභාග වංචා, ප්‍රශ්නපත්‍ර පිටවීම් වලක්වා විභාග පැවැත්වීමේ දී විධිමත් සහ ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්, ඒ සම්බන්ධ විශ්වසනීයත්වයක් සමාජ තුළ ඇති කිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින අවස්ථාවක මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඇතිවීම කණගාටුදායක තත්ත්වයක් බව ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම මීට අදාලව සිදුකෙරෙන පොලිස් විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ කරුණු විමසූ අමාත්‍යවරවයා සිද්ධියට සම්බන්ධ වූවන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙසට ද පොලිසියට උපදෙස් ලබා දුන්නා. මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවද අභ්‍යන්තර පරීක්ෂණක් ආරම්භ කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *