ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩගන්න මට පුළුවනි – නික් පොතාස්

(කොළඹ, ලංකාපුවත්) – නිදහස හා මාස හයක කාලයක් ලබා දෙන්නේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දියුණුවේ මාර්ගයට අවතීර්ණ කිරීමට තමන්ට හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් තාවකාලික පුහුණුකරු නික් පොතාස් පවසයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථකත්වයට හේතුව ඕනෑවට වඩා වැඩි මොලකාරයන් සිටීම බවට පොතාස් චෝදනා කරයි.

ඉන්දියාවට එරෙහිව දඹුල්ලේදී ශ්‍රී ලංකාව පෙරේදා ලත් කඩුලු 9ක අන්ත පරාජයෙන් පසුව පොතාස් සංවේගයෙන් යුතුව මෙසේ කියා සිටි බව ‘හින්දුස්තාන් ටයිම්ස්‘ පුවත්පත වාර්තා කර ඇත.

මේ තරගයේදී පළමුව පන්දුව පහරදුන් ශ්‍රී ලංකා පිල ඕවර 43.2කදි ලකුණු 216කට දැවී ගිය අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය පිල ඕවර 28.5කදි එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රහණය සපුරා ගත්තේය. ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු ශිකර් ධවාන් නොදැවී ලකුණු 132ක් රැස් කළ අතර නායක විරාට් කෝලි නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 82කි.

“ක්‍රීඩක විවේක කාමරයේ සිටින කිසිවකුටත් වැරැද්දක් කියන්න බැහැ. ඔව්, අපි අද අපේ හොඳම ක්‍රිකට් ක්‍රීඩාව කලේ නැහැ තමයි. එය ඉතාම පැහැදිලියි. කාටත් තරහා යනවා තමයි. මෙතන ‘කෝකියෝ වැඩියි‘ කිව්වොත් හරියටම හරි“ යැයි පොතාස් කියයි.

පෙරේදා තරගයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැගත් බස් රථයට දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් පිටව යාමට සිදු වූයේ ක්‍රීඩා ලෝලීන්ගේ “හූ“ හඬ මැදය.

“චිත්තවේගාත්මකව ඔබ කෝපයට පත් වෙනවා. ඔබට රිදෙනවා“ යැයි දකුණු අප්‍රිකානු ජාතික පොතාස් කෝපාවිෂ්ටව කියා සිටියේය.

ශ්‍රී ලංකා සංචිතයේ වර්ධනයක් තිබිය හැක්කේ ඔවුනට දියුණු වීම සඳහා කාලයක් ලබා දුන්නොත් පමණක් බව කී පොතාස්, කණ්ඩායමේ නිරතුරුවම කරනු ලබන වෙනස්කම් විවේචනයට ලක් කළේය.

“කණ්ඩායම ඇතුළත ස්ථීරභාවය ඇති වුවහොත් ඔවුන්ගේ ක්‍රීඩාවේ දියුණුවක් දැක ගත හැකි වේවි. සෑම තරගයකටම අපට අලුත් ක්‍රීඩකයන් ලැබෙන විට, විශ්වාසයෙන් පැත්තෙන් එය හරිම අමාරුයි. ක්‍රීඩකයාගේ පැත්තෙනුත් එය හරිම අසීරුයි. පුහුණුකරුවන්ගේ මණ්ඩලය පැත්තෙන් අපිටත් උපාය මාර්ග නිර්මාණය කරන්න අමාරුයි.

නිදහස් අතක් හා මාස හයක කාලයක් තමාට ලබා දෙන්නේ නම් ශ්‍රී ලංකා කණ්ඩායම නැවත නිවැරදි මාර්ගයට ගැනීමට තමන්ට පුළුවන් බවද පොතාස් මෙහිදී ප්‍රකාශ කර තිබේ.

“මේ ක්‍රීඩකයන් කණ්ඩායම එක්ක අපට අපේ වැඩේ තනියම කරගෙන යන්න ඉඩ දෙනවා නම් හය මාසයක් ඇතුලත අපට ස්ථීරත්වයක් ගෙන ආ හැකියි. විශාල දියුණුවක් බලා ගන්න පුළුවන් වේවි. මේ ඉන්නේ ඉතාමත් දක්ෂ හැකියාවන් තියෙන ක්‍රීඩකයන් පිරිසකුයි“ නික් පොතාස් වැඩි දුරටත් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *