සාර්ක් රටවල් ක්ෂය රෝග මර්දනයට වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – දකුණු ආසියානු රටවල දරුවන්ගේ ක්ෂය රෝගය හදුනා ගැනීම සහ වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබද සමුලුවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජානකී හෝටලයේ දී පසුගියදා පැවැත්විනි.

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“ක්ෂය රෝගය තුරන් කිරිමට සාර්ක් කළාපයේ විශේෂ අවධානය යොමු විය යුතුයි. දරුවන්ගේ ක්ෂය රෝගය හදුනා ගැනීම, ප්‍රතිකාර සහ සැළසුම් සහගත කළමණාකරණයට අදාලව පුහුණූ වැඩසටහන් දියත් කළ යුතු වනවා. ක්ෂය රෝගය මනුෂ්‍ය වර්ගයාට මුල් කාලීනව පටන් වැළදුන රෝගයක් ලෙස හදුනාගෙන තිබෙනවා. ඒ පිළිබද චීන සහ ඊජිප්තු අතීත වෛද්‍ය වාර්තාවල පවා කරුණු සදහන් වනවා. ලොව පුරා ජනතාවගේ සෞඛ්‍යයට සහ සංවර්ධනයට ක්ෂය රෝගය දැඩි බලපෑමක් එල්ල කරනවා. 2015 වස‍රේ දී පමණක් ලොව පුරා රෝගීන් මිලියනයක් පමණ වාර්තා වී තිබෙනවා. ලොව පුරා මරණවලට හේතුවන ප්‍රධාන රෝග 10 න් එකක් ලෙස ක්ෂය රෝගය සැළකෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වලට අනුව දරුවන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ක්ෂය රෝගීන් වෙනවා. සෑම වසරකදීම ක්ෂය රෝගයෙන් ලොව පුරා දරුවන් එක්ලක්ෂ 40,000 ක් පමණ ජිවිතක්ෂයට පත් වෙනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල ළමා අනාථ ක‍දවුරුවල මරණ වලට ප්‍රධාන හේතුව වන්නේ ද ක්ෂය රෝගයයි. සාර්ක් කළාපය තුල ද ක්ෂය රෝගීන් බහුලව වාර්තා වනවා. එම නිසා කළාපය තුල ක්ෂය රෝගය පාලනයට විශේෂ වැඩපිළිවෙලක් අවශ්‍යයයි.

ශ්‍රී ලංකාවේ ද 2015 වසරේ දී ක්ෂය රෝගීන් එක්ලක්ෂ 30,000 ක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරනවා. නමුත් එම වසර තුල හදුනාගත් රෝගීන්ගේ සංඛ්‍යාව 9975 ක්. 2016 වසරේ වාර්තා වලට අනුව හදුනාගත් රෝගීන්ගේ සංඛ්‍යාව 8886 ක්. එම නිසා ක්ෂය රෝගයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට සාර්ක් කළාපීය රටවල් දැඩි අවධානය යොමු කළ යුතුයි.”

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, ක්ෂය රෝග පිළිබද ජාතික වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මිය ඇතුලු වෛද්‍යවරුන් රැසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *