බිලිඳුන් සුරකින්න වැඩපිළිවෙළකට සෞඛ්‍ය අංශ සැරසෙයි

(කොළඹ, ලංකාපුවත්) – වසරකට කුස තුළ මිය යන දරුවන් 1730ක් අඩු කිරීමේ අභියෝගයට මුහුණ දීමට සෞඛ්‍ය අංශ සැරසෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා පරා ජන්ම සංගමයේ වාර්ෂික අධ්‍යයන සැසිවාරය හෙට(23) සහ අනිද්දා (24) දෙදින සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගලධාරි හෝටලයේ දී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා මරණ මෙන්ම සජීවී දරු උපත් පිළිබදව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ඊයේ (22) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එම සංගමයේ සභාපති වෛද්‍ය කපිල ජයරත්න මේ බව අදහස් දක්වා තිබේ.

ප්‍රසව සහ නාරිවේද, ළමා රෝග, ප්‍රජා වෛද්‍ය, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් මෙම සංගමය සමන්විත වේ.

“ගර්භණී සමයේ හෝ ප්‍රසූතියෙන් පසු කාලයේ දරුවෙකු මියයාම බොහෝ විට වළක්වා ගත හැකි ඛේදනීය අත්දැකීමකි. එවැනි තත්ත්වයක් මවට පමණක් නොව ජීවත් වන අනෙකුත් දරුවනට, සමස්ත පවුලට හා සමාජයට අහිතකර බලපෑම් එල්ල කරයි.

ශ්‍රී ලංකාව කලාපයේ අඩුම මාතෘ මරණ සහ ළදරු මරණ අනුපාත වාර්තා කරයි. පෙර ප්‍රසව, ප්‍රසූත සහ පසු ප්‍රසව සත්කාරක සේවා සැපයීම අතින්ද ශ්‍රී ලංකාව පෙරමුණේ සිටියි.

ගර්භණී වී සති 12 ක් තුළ සේවා සදහා ලියාපදිංචිය සියයට 82කි. සියයට 99ක් ගැබිණි මවුවරු පුර්ව ප්‍රසව සායනවල වෛද්‍ය සුපරික්ෂණය ලබයි. රෝහලක් තුළ දරු ප්‍රසූතිය සියයට 99.9කි. නිවසේදීම පසු ප්‍රසව සංරක්ෂණය ලබාදීම සියයට 92කි. 2015 වස‍රේ සජීවි දරු උපත් 334000 ක් වාර්තා වූ අතර ගර්භයට සති 28න් පසු මෙලොවටම බිහි නොවී කුස තුළම දරුවන් 1730 ක් මිය ගොස් ඇත. තවත් දරුවන් 1555 ක් ඉපදී පළමු සතියේදීම මිය ගොස් ඇත. නොමේරූ දරුවන්, අඩු බර, ප්‍රසූත සංකූලතා සහ උපත් ආබාධ මෙම මරණවලට ප්‍රධානතම හේතුව ලෙස හඳුනාගෙන ඇත.” යනුවෙන් එහිදී ඔහු කරුණු අනාවරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *