සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඉදිරි සැලසුම්වලදී රෝග නිවාරණ අංශ ශක්තිමත් කිරීමට ප‍්‍රමුඛතාවයක් – ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) – සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඉදිරි සැලසුම්වලදී රෝග වැළැක්වීමේ සහ රෝග නිවාරණ අංශ ශක්තිමත් කිරීම සඳහා ප‍්‍රමුඛතාවයක් ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ඒ අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින්ගේ සේවාවන් සඳහා දැනට වඩා වැඩි පහසුකම් ලබාදෙමින් එම සේවාවන් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (22) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ 82 වැනි වාර්ෂික සම්මේලනය අමතමිනි.

රෝහල්වලට අවශ්‍ය භෞතික සහ මානව සම්පත් ලබාදෙමින් ප‍්‍රතිකාර අංශ ශක්තිමත් කිරීමට රජය පුළුල් ආයෝජනයක් සිදු කළද රෝග වැළැක්වීමේ සහ රෝග නිවාරණ අංශ සඳහා වෙන් කෙරෙන මුදල ප‍්‍රමාණවත් නොවන බව පෙනී ගොස් තිබෙන බව ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

රටේ සංවර්ධනයේ ප‍්‍රධාන මිණුම් දණ්ඩක් වන සෞඛ්‍ය සම්පන්න නිරෝගීමත් ජනතාවක් බිහිකිරීමේ කාර්යයේදි රෝග වැළැක්වීමේ සහ රෝග නිවාරණ අංශ ශක්තිමත් කිරීම අත්‍යාවශ්‍ය බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා සඳහන් කළේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ රටේ ජනතාවගේ ප‍්‍රසාදයට පත්විය යුතු සේවාවක නිලධාරින් බවයි.

විවේචන, නින්දා අපහාස පමණක් නොව සමාජයේ පිළිගත් ඇතැම් පිරිසකගේ බාධාකිරීම් හමුවේද සිය සේවය නිසි ලෙස ඉටුකරන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ කාර්යභාරය මෙහිදී ඇගයීමට ලක්කළ ජනාධිපතිතුමා පසුගියදා ඇතිවූ ආපදා තත්ත්වයන් හමුවේ ජනතාවට සහන සැලසීමට මෙන්ම කැළි කසළ ගැටලුව හමුවේද ඔවුන් කටයුතු කළ ආකාරය ඇගයීමට ලක් කළේය.

විශ‍්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පස් දෙනෙකු වෙත තිළිණ ප‍්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

සාමදාන විනිශ්චයකාර පත්වීම් 05 ක් ද ප‍්‍රදානය කෙරිණි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති එම්.ජී. උපුල් රෝහණ මහතා විසින් ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

අමාත්‍යවරුන්වන පාඨලී චම්පික රණවක. රාජිත සේනාරත්න යන මහත්වරුන් ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *