නව බදු පනතින් අර්ධ සාධක අරමුදලට බලපෑමක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) – නව ආදායම් බදු පනත් කෙටුම්පත හෙට (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එම පනත් කෙටුම්පත මඟින් අර්ථ සාධක අරමුදලට කිසිදු බලපෑමක් සිදු නොවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර සමාජ සාධාරණත්වය ඇති කිරීම සඳහා මෙමඟින් සිදු කරන බව ද ප්‍රකාශ කළේය.

මේ වන විට වක්‍ර බදු 82%ක් සහ සෘජු බදු 18%ක් වශයෙන් අයකරනු ලබන අතර එහිදී ඉහළම ආදායම් ලබන හා මධ්‍යම හා සුළු ආදායම් ලබන සියලු දෙනාගෙන්ම එක හා සමාන බදු අය කිරීමක් සිදු වන බවත් නව බදු පනත තුළින් වක්‍ර බදු 60%ක් හා සෘජු බදු 40%ක් වශයෙන් අය කිරීම සිදු වීමෙන් මධ්‍යම හා සුළු ආදායම් ලබන පිරිසට සහන ලැබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඒ මහතා ප්‍රකාශ කළේ දැනට පවතින බදු ක්‍රමය අනුව රු. 62500ක වැටුපේ සිට බදු අය කිරීම සිදු වන අතර මෙම නව පනත අනුව එය ලක්ෂය දක්වා ඉහළ දැමීම සිදු වන බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීණ්දුව අනුව නව බදු පනත් කෙටුම්පත සංශෝධනය කර තිබෙන අතර වෘත්තීය සමිති නියෝජිතයින්ගේ යෝජනා සහ අනෙකතු සාකච්ඡා යෝජනා සැලකිල්ලට ගනිමින් සකස් කළ පනත් කෙටුම්පත හෙට දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මැලේසියාවේ සෘජු බදු අයකිරීම 70%ක් වන අතර වක්‍ර බදු 30%ක් වන බවත් වක්‍ර බදු අය කිරීම අඩු මට්ටමක පවත්වා ගැනීමට බොහෝ රටවල් කටයුතු කර තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *