පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතරින් ද්විත්ව පුරවැසිභාවය ගීතා කුමාරසිංහට පමණයි

(කොළඹ, ලංකාපුවත්) – පාර්ලිමේන්තු මන්ත්‍රීන් අතරින් ද්විත්ව පුරවැසිභාවය ගීතා කුමාරසිංහ මහත්මියට පමණක් ඇති බවට ආගමන විගමන පාලකවරයා විසින් තහවුරු කර ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

පසුගිය කාල සීමාව තුළ රට තුල ප්‍රබල සංවාදයක් නිර්මාණයක් කරන්නට සමත් වූ ප්‍රමුඛ මාතෘකා අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසි භාවය පිළිබඳ කාරණය සුවිශේෂි වැදගත්කමක් උසුලයි. මෙකී ආන්දෝලනාත්මක කරුණ පිළිබඳව මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙස සෑබෑ තොරතුරු අනාවරණය කරගැනීමේ වගකීම ඇතිව පැෆරල් සංවිධානය විසින් ද්විත්ව පුරවැසිභාවය සහිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කවුරුන්ද යන්න විමසා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයදුම්පත්‍රයක් යොමු කර ඇත. (RTI 009)

එයට ප්‍රතිචාර දක්වමින් ආගමන විගමන පාලකවරයා විසින්, සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම්, උපන් දිනයන් හා ජාතික හැඳුනුම්පත් අංකයන් සහිත නාම ලේඛනයක් පාර්ලිමේන්තු මහා ලේකම්වරයාගෙන් ගෙන්වා ගෙන පරීක්ෂාවට ලක්කොට තිබේ. ඒ අනුව එම ලේඛනයේ සඳහන් තොරතුරු ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගත් අයගේ තොරතුරු අන්තර්ගත කොට ඇති පරිඝනක පද්ධතියට ඇතුලත් කොට පරීක්ෂා කර ඇති අතර එයින්ද නොනැවතී පරිඝනක පද්ධතිය නිර්මාණය කිරීමට පෙර ද්විත්ව පුරවැසිභාවය ප්‍රධානය කල පුද්ගලයින්ගේ තොරතුරු ඇතුලත් ලේඛනද වැඩිදුරටත් පරීක්ෂා කිරීමට කටයුතු කර තිබේ.

එම පරීක්ෂාවෙන් අනතුරුව ආගමන විගමන පාලකවරයා විසින් සනාථ කොට ඇත්තේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මියට පමණක් අංක 17096 A දරන ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කොට ඇති බවයි. එමෙන්ම මෙකී පරීක්ෂාවේදී අනෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 224 දෙනා සඳහා ද්විත්ව පුරවැසි සහතිකයන් නිකුත් කොට නොමැති බවට සනාථ වන බව ආගමන විගමන පාලකවරයා විසින් පැෆරල් සංවිධානය වෙත දන්වා එවා ඇත.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *