ගම්පහ උ‍‍.පෙළ ප්‍රශ්න පත්‍ර සිද්ධියට සිසුවෙක් හා පොලිස් නිලධාරියෙක් සැකපිට අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – ගම්පහ ප්‍රදේශයේ ටියුෂන් ගුරුවරයකු විසින් අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් සොරකම් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම ගුරුවරයාට ඒ සඳහා සහාය දුන් බව කියන සිසුවකු සහ පොලිස් කොස්තාපල්වරයකු රහස් පොලිසිය මඟින් ඊයේ (23) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිසුවා එම විභාග ශාලාවේ සිට නවීන තාක්ෂණික සන්නිවේදන උපකරණයක් හරහා ගුරුවරයාට ප්‍රශ්න ලබාදී ඇති බවත් ඒ සඳහා ගුරුවරයා සහ සිසුවාගේ පියා වන පොලිස් රෝහලේ වෛද්‍යවරයකු වූ සහකාර පොලිස් අධිකාරිවරයකු අතර රුපියල් ලක්ෂ 10 ක හුවමාරුවක් ද සිදුවී ඇති බව කියැවේ.

මෙම සහකාර පොලිස් අධිකාරිවරයා ප්‍රශ්න ලබා දුන් අවස්ථාවේම මුද්‍රණාලයට ගොස් එම ප්‍රශ්න ඇතුළත් පත්‍රිකාව මුද්‍රණය කර විභාගය අවසන් වීමටත් පෙර එම පත්‍රිකා විභාග ශාලාව අසල බෙදා හැරීමටද ආධාර කර ඇති බව රහස් පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

මෙම ප්‍රශ්න පත්‍ර වංචාවට සම්බන්ධ ටියුෂන් ගුරුවරයා තවමත් අතුරුදන්ව සිටී.

ඔහුගේ පියා සහ සොහොයුරා ද අදාළ මුද්‍රණාලයේ හිමිකරුද පෙරේදා රහස් පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඊයේ අත්අඩංගුවට ගත් සහකාර පොලිස් අධිකාරි වෛද්‍යවරයා සහ ඔහුගේ පුතා වූ සිසුවා ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ඇති බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *