විදේශ රැකියාවලට යන අය කාර්යාංශයේ ලියාපදිංචි වී යාම අනිවාර්යයි

(කොළඹ, ලංකාපුවත්) – විදේශ රැකියා සඳහා යොමුවන පිරිස් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනිවාර්යෙන්ම ලියාපදිංචි විය යුතු බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

රජය මගින් ශ්‍රමිකයින් වෙනුවෙන් ලබාදෙන සියළු පහසුකම් හා සුභසාධනයන් හිමිවන්නේ ශ්‍රමික සුරැකුම වැඩසටහන තුළ ලියාපදිංචිවීම මගින් පමණක් බවත් ඇය කියා සිටියාය.

අමාත්‍යවරිය මේ අදහස් පළකළේ, අම්පාර දිස්ත්‍රික්කයේ විගමණික ශ්‍රමිකයින්ගේ ගැටළුවලට විසදුම් ලබා දීම වෙනුවෙන් තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති ශ්‍රමික සුරැකුම ජංගම සේවා වැඩසටහනට පසුගිය 21 වන දින සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමිය, — විදේශගතව රැකියා කරන අය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා පොරොන්දු තුනක් දුන්නා. පලමු එක තමයි රටවල් වල වැඩකරන ශ්‍රමිකයින්ගේ මෙහේ පවුල් වල සුභසාධනය ඇති කරන එක. අපි ඒක 2016 ජනවාරි 8 වෙනිදා ක්‍රියාත්මක කලා. ජනවාරි 8 වෙනිදා සිට 14 වෙනතුරු සතියක් කල් දුන්නත් ලක්ෂ 14/15 පිටරට රැකියා කරන අයගෙන් 90,000ක් පමණයි ලියාපදිංචි වුනේ. සීමාවක් නැතුව දැන් ලියාපදිංචිය කරගෙන යනවා. මේ වෙනකොට අපේ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්තුමිය යටතේ ඉන්න සංවර්ධන නිළධාරීන් හරහා ලක්ෂ 3ක් පමණ ලියාපදිංචි කරලා තියනවා.

පිටරට රැකියා වලට යන අය විදේශ සේවා නියක්ති කාර්යාංශයේ ලියාපදිංචි වෙලා යන එක අනිවාර්ය දෙයක්. ඉදිරියේදී මේ ශ්‍රමිකයින් වෙනුවෙන් ලබා දෙන හැම දෙයක්ම සිදුකෙරෙන්නේ මේ වැඩසටහනේ ලියාපදිංචි වෙලා තිබුණොත් පමණයි. අපි ලබන සතිය වෙනකොට නැගෙනහිර පළාත සම්පූර්ණයෙන්ම ආවරණය කරලා අවසන් කරනවා. ඊළග පියවර විදියට ස්වයං රැකියා සහ නැවත ඇවිත් ඉන්න අයගේ වැඩසටහන් නීතිරීති අනුව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. පහුගිය 30 අවුරුද්දකට ආසන්න කාලයක් මේ ප්‍රදේශ වල ජනතාව සාමාන්‍ය ජීවිතයේදී නොයෙකුත් අපහසුතාවලට, පීඩනවලට මුහුණ දීපු අය කියලා අපි දන්නවා. මේ රජයේ පරම වගකීම සහ ජනපතිතුමාගේ, අගමැතිතුමාගේ අවශ්‍යතාවය මේ රටේ කොයි තැනක ජීවත් වුනත් මොන ආගමක වුනත්, මොන ජාතියක, කුලයක වුනත්, මොන සමාජ මට්ටමක හිටියත් සියලූ දෙනාම ශ්‍රී ලාංකිකයින් සහ මනුෂ්‍යයින් හැටියට රජය විසින් වගකීම් ඉෂ්ඨ කරනවා.”

යනුවෙන් අමාත්‍යවරිය සඳහන් කළාය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *