පිටකොටුවෙන් සෑම අධිවේගී මාර්ගයකටම ප‍්‍රවේශ මාර්ගයක්

(කොළඹ, ලංකාපුවත්) – සෑම අධිවේගී මාර්ගයකට ම ප‍්‍රවේශ විය හැකි ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථානය පිටකොටුවේ ඉදිකරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

එසේම වරාය නගරයේ පළවෙනි ඉඩම් වෙන්දේසිය ලබන වසරේදී සිදු කරන බවත් කොළඹ නගරය හා තදාසන්න නගර යා කරමින් සැහැල්ලූ දුම්රිය මාර්ග පද්ධති 7ක් ඉදිරි වසර 5 තුළදී ඉදිකිරීමට සැලසුම් කොට ඇතැයි අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා මීගොඩ ආටිගල මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.

බස්නාහිර කලාපීය මහානගර සංවර්ධන සැලැස්ම යටතේ ආටිගල මාර්ගය ප‍්‍රතිසංසකරණය කළ අතර නාගරික සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාවට නංවන ලදි.

“අප අමාත්‍යාංශය යටතේ විධිමත් සැලැස්මක් යටතේ කොළඹ සංවර්ධනයට පියවර ගෙන තිබෙනවා. ඊළඟ අවුරුදු 10 ඇතුළත කොළඹ නගරය සීග‍්‍ර වෙනසකට පත් කරනවා. වර්තමානයේ දකුණු ආසියාවේ වැඩිම දොඹකර ප‍්‍රමාණය ක්‍රියාත්මක වෙන්නේ කොළඹ. ඉහළම ගණයේ ව්‍යපෘති 96 ක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් අද ක්‍රියාත්මක කෙරෙනවා. පසුගිය වසරේ සිට මේ වසරේ පළවෙනි කාර්තුව දක්වා කෘෂිකර්ම ක්‍ෂෙත‍්‍රයේ තිබෙන්නේ ඝෘණ 3.8 ක ආර්ථික වර්ධනයක්. ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ, බැංකු ඇතුළු සේවා ක්‍ෂෙත‍්‍රයේ තිබෙන්නේ4% ක වර්ධනයක්. හැබැයි ඉදිකිරීම් නිසා කාර්මාන්ත ක්‍ෂෙත‍්‍රයේ 6.5% වර්ධනයක් තිබෙනවා. රටේ ආර්ථිකය අද දුවන්නේ ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රය නිසා. ඒ නිසා මෙම නගරය තව තවත් ඉහළට ගෙන යන්න අපට පුළුවන්” යැයි ද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *